අලුත්වැඩියාවට ලක් කළ චෝගම් බස් රථ 9 ක් යළි ධාවනයට

    August, 19, 2025

    වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වන ලද චෝගම් බස් රථ 35 ක් අතරින්, අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ක් ධාවනයට එක් කිරීම ඊයේ (18) සිදු කෙරිණ.

    ඒ මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද අධි සුඛෝප‍භෝගී සංචාරක ඩිපෝවේ නඩත්තු අංශයේ දී යි.

    මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු. ලක්ෂ 375 ක් පමණ වැයවී තිබෙන අතර තවත් බස් රථ 36 ක් අළුත්වැඩියා කිරීම සඳහා ඉතිරි වී තිබේ.

    එම බස් රථ වෙනුවෙන්ද අමතර කොටස් ගෙනඒමට අවශ්‍ය මූලික පියවර මේ වනවිට ත්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස 03 ක් වැනි කාලයක් තුළ දී ඒවා ද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

    "චෝගම් සඳහා ගෙන්වු බස් රථ මේ වනවිට ධාවනයෙන් ඉවත්වෙලා තිබෙන්නේ. එම බස් රථ 09 ක් ප්‍රතිසංස්කරණය කරලා නැවත ධාවනය සඳහා එක්කිරීම තමයි අද සිදුවන්නේ. ගාල්ල, මාතර, නුවර වැනි දුර සේවා වලට බස් රථ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම බස්රථ පළමු කි.මී. 5000 කෙටි දුර ධාවනය සඳහා යොදවලා, අනතුරුව දුර සේවා සඳහා යොදවන්න සැලසුම් කරලා තිබෙන්නේ. මෙම බස් රථ 09 ට අමතරව ප්‍රතිසංස්කරණය සඳහා යොමුවී තිබෙන ඉතිරි චෝගම් බස්රථ සියල්ලත් හැකි ඉක්මණින් ධාවනයට යෙදවීමට කටයුතු කරනවා. රටේ ජනතාවට පොදු ප්‍රවාහන අත්‍යාවශ්‍යයි. ජනාධිපතිතුමාගේ දැක්ම අනුව ගමට පාරක් - ඒ පාරට පොදු ප්‍රවාහනයක් යන්න යතාර්තයක් කරන්න සැලසුම් සකස් කරනවා. ඒ වගේම ආදායම් රහිත ග්‍රාමීය මාර්ග සඳහා රජයේ ආධාර යටතේ බස් රථ යෙදවීමට කටයුතු කරනවා."