අල, ලූණු සහතික මිලෙන් ඩොලර් මිලියන 200ක් රැකිය හැකිලු

    March, 28, 2014

    අර්තාපල්, ලූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක් නියම කරමින් ගොවීන් සමග රජය අද ගිවිසුමකට එළඹුණේ 2016 වනවිට මෙම කෘෂි නිෂ්පාදන වලින් ස්ව්‍යංපෝෂිත වී වසරකදී පිටරටට ඇදීයන ඩොලර් මිලියන 200 ක පමණ විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට යැයි මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසීය.

    අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 80 ක්, ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 60 ක් සහ වියලි මිරිස් කිලෝවක් සඳහා රුපියල් 350 ක් යන පරිදි සහතික මිල ගොවීන්ට ලබාදීමට එකඟවන මෙම ගිවිසුම අද මුදල් අමාත්‍යංශය සහ ගොවීන් අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී අත්සන් කළේ 2014 අයවැය යෝජනාවක් ඉටු කිරීමක් ලෙසයි.

    මීට අමතරව, මෙම ගිවිසුමට අනුව බීජ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 160 ක සහතික මිලක් සහ ලොකු ලූණු බීජ කිලෝවක් සඳහා රුපියල් 12,000 ක සහතික මිලක් ලබාදෙයි.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් ආටිගල මහතා පැවසුවේ මේ වනවිට මෙරට අර්තාල්, ලොකු ලූණු සහ වියලි මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 50 ක්ම පිටරටින් ගෙන්වන බවයි.

    මේ සඳහා වසරකට පිටරටට ඇදී යන විශාල මුදල ඉතිරි කරගැනීම තුළින් මෙරට වෙළඳ හිඟයද යහපත් කර ගැනීමට හැකිවන බවයි ඔහු සඳහන් කළේ.

    මෙවැනි ඉලක්කයක් මත මෙම බෝග වර්ග තුන සඳහා සහතික මිලක් ඇතිකළ බවත් එය දිගටම පවත්වාගෙන යන බවත් ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වලට අනුව පසුගිය ජනවාරි මාසයේ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 755.9 ක්වී තිබෙන අතර එය සියයට 5.9 ක පහළ යාමකි.