අවුරුදු 5 කින් ආදායම් බලපත්‍ර නැතිනම් වාහනයේ ලිපිගොනු දෙපාර්තමේන්තුවෙන් ඉවතට

    February, 1, 2018

    පසුගිය දශකය තුළ මෙරට ඒකපුද්ගල ආදායම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ ප්‍රමාණයද වාර්ෂිකව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. 2008 වර්ෂයේ සිට 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන වර්ග කිහිපයක සංඛ්‍යාත්මක වර්ධනය සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

    ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව එලෙස වාර්ෂික ඉහළ යාමට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පවතින වාහන ලිපිගොනු සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. එම ලිපිගොනු ගබඩා කිරීම සඳහා එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිව්මහල් ලේඛනාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. නමුත්, එම ලේඛනාගාර ගොඩනැඟිල්ලෙහිද ගබඩා කළ හැකි උපරිම ලිපිගොනු සංඛ්‍යාව මිලියන 3.5ක් පමණක් වේ.

    එබැවින්, දැනට භාවිතයේ නොමැති මෝටර් රථවලට අදාළ සියලු ලිපිගොනු විධිමත් අයුරින් අපහරණය කිරීම මඟින් නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පසුගිය වසර පහක කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන, ධාවනයේ නොමැති වාහන සේ සලකා එම වාහනවලට අදාළ ලිපිගොනු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක අධීක්ෂණය යටතේ විධිමත් පරිදි අපහරණය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එමෙන්ම මෙතෙක් අවසන් නොවූ නීතිමය කටයුතුවලට අදාළ වාහන ලිපිගොනු කිසිවක් මේ යටතේ බැහැර නොකළ යුතු බවටද තීරණය කරන ලදී.