අළුත්ම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලිය වැඩිද?

    May, 29, 2015

    ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි.

    මේ අනුව, මෙම නිකුතු දෙකේ සාමාන්‍ය පොලී අනුපාතය (weighted average cost) සියයට 5.2 ක්වී තිබේ.

    මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී සියයට 3.9 ක්වූ බවත් 2012 වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට 4.4 ක්වූ බවයි.

    මේ නිසා, අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙවර අඩුවීමෙන් රටට ප්‍රතිලාභයක් ලැබී ඇති බවත් මෙම බැඳුම්කර නිකුතුවේ පොලිය වැඩියැයි නැගෙන චෝදනා සාවද්‍ය බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.