අ. පො. ස උසස් පෙළ හපනුන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් සවිබල

    February, 16, 2016

    අ. පො. ස. උසස් පෙළ ජයගත් දැයේ දක්ෂ සිසු දූ පුතුන් හට හරසර දැක්වීමක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ “සිසු අභිමන්“ සම්මාන ප්‍රදානෝත්සවය, පසුගියදා උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී උත්සව›යෙන් පැවැත්විණ. අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් පරිත්‍යාග කරමින් උසස් පෙළ විභාගය උසස් ලෙස ජයගත් එම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරලීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ මූලික අභිමතාර්ථය විය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාව ඇතිව දීප ව්‍යාප්ත මට්ටමෙන් තෝරාගත් අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 21 දෙනෙකු “සිසු අභිමන්“ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සුදුසුකම් ලැබූහ. උසස් පෙළ විෂය ධාරා 7 නියෝජනය වන පරිදි එක් විෂය ධාරාවකින් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් තිදෙනා බැගින් මේ සඳහා තෝරා ගන්නා ලදී. මෙම දක්ෂ දූ පුතුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණ පෙරදැරිකොටගෙන අධිවේගී SLT බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ පිරිනැමීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණ. එම පැකේජ සියල්ලම අදාල සිසුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන්වන තෙක් නොමිලේ සේවා සම්පාදනය කරනු ලබයි. SLT බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ තෝරාගැනීමේදී සිසුන්ගේ අභිමතය පරිදි රැහැන් සහිත හෝ 4G LTE තාක්ෂණයෙන් යුතු පැකේජ තෝරාගැනීමේ පහසුකමද ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සපයා දී තිබේ.

    මෙම “සිසු අභිමන්“ වැඩසටහන, තාක්ෂණය හා නවෝත්පාදනයන් හරහා දැනුම ගවේෂණය කරන්නට නූතන සිසු පරපුරට පහසුකම් සලසා දී රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම වෙනුවෙන් වන ශ්‍රී ලංකා ටෙලිකොම් හි අනාගතවාදී දැක්මෙහි තවත් එක් ක්‍රියාකාරී වැඩසටහනකි. මෙමගින් අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳ සමාජය දැනුවත් කිරීමද ශ්‍රී ලංකා ටෙලිකොම් හි අරමුණකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙහිදී සිසුන් ආමන්ත්‍රණය කරමින් මෙසේ කියා සිටියේය. “ඔබේ අනාගතය වඩාත් සාර්ථක හා ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හැකි සෑම ආකාරයෙන්ම කටයුතු කරන්නට නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා. ඔබට ලැබුණු මේ වටිනා වරප්‍රසාදය අත්වැලක් කරගෙන හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන රටට වැඩදායී පුරවැසියෙක් වෙන්නට අධිෂ්ඨාන කරගන්න.“