ආගමික ස්ථාන ඉලෙක්ට්‍රොනික මුදල් පිළිගත යුතුයි- මහ බැංකු අධිපති

    February, 20, 2014

    මෙරට කාසි ටොන් 30 ක් පමණ ඉන්දියාවේ හිරවෙලා

    පන්සල්, දේවාල ඇතුළු පූජනීය ස්ථාන සඳහා බොහෝ විට කාසි වලින් ආධාර කිරීමට බැති මතුන් පුරුදුව සිටී. මේ නිසාම, මුදල් සංසරණයේදී කාසි හිඟයක් ඇතිවීමට මෙය හේතුවේ. මේ සඳහා කදිම විසඳුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.

    මාධ්‍යවේදීන් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ කාසි වෙනුවට බැතිමතුන්ගෙන් ඉලෙක්ට්‍රොනික මුදල් පිළිගැනීමට මෙරට පූජනීය ස්ථාන සූදානම් විය යුතු බවයි.

    මේ අනුව, මෙරට ආගමික ස්ථාන වලදී බැතිමතුන්ගෙන් ආධාර ලබාගැනීමට දැනට සමාජයේ භාවිතා වන ඉලෙක්ට්‍රොනික මුදල් භාර ගැනීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි අධිපතිවරයා පෙන්වා දුන්නේ.

    ආගමික ස්ථානවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන කාසි එකතු කර ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබාදීමේ වැඩපිළිවෙලක් මහ බැංකුව විසින් ආරම්භ කර තිබෙන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, ඉන්දියාවේ වන්දනාවේ ගොස් මෙරට බැතිමතුන් විසින් එරට ආගමික ස්ථාන වලට පූජා කර තිබෙන ටොන් 30 ක පමණ මෙරට කාසි යළි ලංකාවට ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.