January, 31, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 29 දා රු. මිලියන 182,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක කැඳවා තිබුණි.
මෙහිදී දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය 8% මට්ටමෙන් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි.
2021 දෙසැම්බර් 24 දින පැවති භාණ්ඪාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය 8% මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
සමස්ත නිකුතුව වෙනුවෙන් රුපියල් මිලියන 478,693 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 182,500 ක ලංසු භාර ගැනීමට එහිදී කටයුතු කර තිබුණි.
මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දෙවන අදියර යටතේ තවත් රු. මිලියන 18,250 ක බිල්පත් ප්‍රමාණයකට අදාළව ලංසු පිළිගැනීමට කටයුතු කළ බව රජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) දිනයේ දී රු. මිලියන 40,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ද පවත්වන ලදී. 2029 දෙසැම්බර් 15 වැනි දින හා 2033 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ බැඳුම්කර නිකුත් කිරීමට එහිදී පියවර ගෙන තිබුණි.
භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ.
භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි (සංශෝධිත). එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ.
මේ සම්බන්ධ සටහන් දෙකක් පහතින් දැක්වේ.


Video Story