ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නැහැ – ආචාර්ය අනිල් ජයන්ත

    August, 19, 2025

    පසුගිය සතියේ රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට මතයක් සමාජගත කිරීමට යම් සංවිධානයක් උත්සාහ කර ඇති බවත්, එය වැරදි තොරතුරක් බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) දින පාර්ලේමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

    “පසුගිය සතිය ඇතුළත දී සමාජයේ බයක් නිර්මාණය කරනවා, විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා, රට ආයෙත් අර්බුදයකට යන්න හදනවා කියලා. මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා කරන කාරණා. යම් සංවිධානයක් ඉදිරිපත් කළා, ට්‍රිලියන 1.2ක් බිලියන 1,200 ගාණක අපේ ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගහලා කියලා. පළවෙනුම කියන්න කැමතියි දැන් මේ ක්‍රියාත්මක වන වපසරිය ඇතුළේ ආණ්ඩුවට මුදල් මුද්‍රණය කරන්න, අච්චු ගහන්න හැකියාවක් නැහැ. අපි එහෙම කරලා නැහැ. නීතිමය වශයෙන් ඉඩක් නැහැ. සමාජය තේරුම් ගන්නවා මේ මුදල් අච්චු ගහනවා කියන එක වැරදි විදියට. මොකක්ද මේ මුදල් අච්චු ගහන්නේ, අලුතෙන් මුදල් නෝට්ටුවක් එළියට එන එකද, එහෙම නැත්නම් ආර්ථිකයට වෙළෙඳපොළට මුදල් ප්‍රසාරණය වෙන එකද?,  ඇත්තටම සමාජයේ මේ මුදල් අච්චු ගහනවා කියන්නේ මුදල් ප්‍රසාරණය වෙන එක.“

    “මෙන්න මේ මුදල් ප්‍රසාරණය වෙන්නේ කොහොමද? ඇත්තටම මේ මුදල් ප්‍රසාරණය වෙන්න බලපානවා සංචිත මුදල් ප්‍රමාණය, ඒක තමයි මහ බැංකුව පාලනය කරන්නේ. මහ බැංකුව පාලනය කරන ලද සංචිත ප්‍රමාණය මත, ලංකාවේ තියෙනවා පුළුල් මුදල් සැපයුම කියලා එකක් M2b, ඒ අනුව ඒ කටයුතු මේ වෙන කොට පාලනය කරන්නේ, නියාමනය කරන්නේ, මහ බැංකුව යටතේ. ඒ නිසා ආණ්ඩුව කිසිම ආකාරයකට මේ මුදල් සැපයුම වැඩි කරලා නැහැ.“