December, 3, 2025
2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීම 2025 නොවැම්බර් 30 දිනෙන් අවසන් විය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන, 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව, 2025 නොවැම්බර් මස 30 වන දින සිට දින අටක් ඇතුළත (2025 දෙසැම්බර් 08) ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
මේ අතර අද (03) දින අද දෙරණ විශේෂ සජීව සාකච්ඡාවකට එක්වෙමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සුදත් ගුණතිලක මහතා පැවසුවේ, මෙතෙක් ආදායම් වාර්තා ගොනු කර නැති, ජලගැල්මෙන් පීඩාවට පත් ආයතන හෝ තනි පුද්ගලයින් සිටින්නේ නම්, ඒ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කළ හැකි බවයි.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සුදත් ගුණතිලක මහතා,
“තනි පුද්ගලයින් හෝ ආයතන සඳහා ආදායම් බදු ගොනු භාර දිය යුතු අවසාන දිනය වන්නේ නොවැම්බර් 30 වනදා. එය මුදල් අමාත්‍යාංශයේ අවසරය මත තවත් දින 8ක් දීර්ඝ කළා. දෙසැම්බර් 08 දක්වා. ඇත්තවශයෙන්ම අපි ප්‍රායෝගික වෙන්නත් අවශ්‍යයි. ජලගැල්මෙන් පීඩාවට පත් ආයතන හෝ තනි පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන්ට විශේෂ ඉල්ලීමක් කරන්න පුළුවන්, යම්කිසි කාලයක් දක්වා දීර්ඝ කර දෙන්න කියලා.“
“දේශීය ආදායම් පනත මගින් තමයි නොවැම්බර් 30 වන විට බදු වාර්තාව සපයන්න කියලා තියෙන්නේ. මෙම දිනය තව දීර්ඝ කරනවා නම් පනත සංශෝධනය කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදියට කාලය දීර්ඝ කරලා තියෙන්නේ, බදු ගෙවන්නන් වාර්තාව සැපයීම ප්‍රමාද වීම මත පනත ප්‍රකාරව ඇති කරන දණ්ඩන හා බලපෑම්වලින් නිදහස් කිරීමක් කරලා තියෙන්නේ. මේ දින 8 තුළ වාර්තාව සැපයීම මත දණ්ඩල පැනවීමක් සිදුවන්නේ නැහැ, ඉන් ඉදිරියටත් දේශීය ආදායම් කොමසාරිස්තුමිය මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක් ගනියි. මේ සහන ලැබිය යුත්තේ ව්‍යසනයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට පමණයි.“
Video Story