ආනයනකරුවන්ට වැඩි සහනයක් ලබා දෙමින් මෙරටට ගෙන්වන මැණික් සඳහා අයකරන බදු අඩු කෙරේ

    January, 19, 2026

    ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස ආනයනික මැණික් පාර්සලයකට අය කරනු ලැබූ ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී යි.

    මැණික් ආනයනය කිරීමේදී පනවනු ලබන VAT සහ SSCL අගයන් තක්සේරු කරන ක්‍රමය වෙනස් කර ආනයනය කරන පුද්ගලයන්ට එදාට වඩා සහනයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ද ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය.

    "අපි Import tax එක simplified කරලා තියනවා. ඒ simplified කරලා තියෙන්නේ යම් කෙනෙක් Import එකක් කරනවනම් ඒ Import එකේ අපි tax අයකරන්නේ ඒ පාර්සල් එකේ වටිනාකමට. එතකොට ඒ වටිනාකමට අපි නිෂ්චිත අගයක් දීලා තියනවා. ඕගොල්ලෝ Precious Stones පාර්සලයක් අරන් එනවනම්, ඒ පාර්සලයේ 1KG එකකට ඩොලර් 900ක වටිනාකමක් තමයි අපි ෆික්ස් කරන්නේ. ඒ ඩොලර් 900න් තමයි අපි VAT එක සහ SSCL එක අයකරන්නේ. එතකොට ඒ දෙකේ එකතුව ගත්තම 20.5%ක්. ඒ 20.5% කියන්නේ ඩොලර් 900න් ඩොලර් 184.ක්. එතකොට අපි Semi Precious Stones ගේනවනම් එක කිලෝ එකක් අපි value කරනවා ඩොලර් 50කට. ඒ ඩොලර් 50ට තමයි. ඕගොල්ලන් VAT සහ SSCL Pay කරන්න ඕන. ඒ අගය වෙන්නේ ඩොලර් 10.25ක්. ඊට අමතරව ඕගොල්ලන් කිලෝ එකකට අඩු ප්‍රමාණයක් ගේනවනම් අපි value එක දෙන්නේ කැරට් එකකට. රූබි, සෆායා, එමරල්ඩ් කියන කොටස් වල නැත්නම් Precious Stones විදිහට ගත්තහම එක කැරට් එකක් අපි value කරන්නේ ඩොලර් 5කට. එතකොට ඩොලර් 5කට තමයි ඕගොල්ලන් අපට VAT සහ SSCL Pay කරන්න ඕන. එතකොට එන්නේ ඩොලර් 1ක් වගේ ඉතාම සුළු ගානක්. ඒ වගේම Semi Precious Stones වලට අපි value කරනවා ඩොලර් 0.20ක්. එතකොට ඕගොල්ලන්ට ඇත්තටම ගෙවන්න වෙන TAX එක වෙන්නේ රුපියල් වලින් ගතතහම රුපියල් 12ක් වගේ ඉතාමත් සුළු ගානක්."

    මේ අතර 2023,2024 සහ 2025 කාල වලදී මැණික් ආනයනය ඉතා අඩු මට්ටමක පැවති බවද මේ නිසා අපනයනයටද විශාල බලපෑමක් සිදුවූ බව ද ඔහු එහි දී පෙන්වා දුන්නේ ය.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ අපනයනයට අවශ්‍ය රළු මැණික් 2023ට පෙර වෙනත් රට වලින් ලංකාවට රැගෙන ආ අතර එලෙස රැගෙන ආ ප්‍රමාණය VAT එක හදුන්වා දීමත් සමග ඉතා විශාල වශයෙන් අඩුවූ බවයි. 2024 ජනවාරි 01 සිට ආනයනය කරන මැණික් පාර්සලයේ ඇති මැණික් වල වටිනාකමට 18%ක් VAT එක වශයෙන්ද 2.5%ක් SSCL ලෙසද ගණනය කළ බවත් එම අයකිරීම වටිනාකම මත පදනම් වන බවත් ඔහු එහි දී පෙන්වා දුන්නේය.

    පසුගිය කාලයේ පැවති VAT සමග සැසඳීමේදී මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉතා සුළු මුදලකට ආනයන සිදු කිරීමට හැකි වී ඇතැයිද අනයනය කරන මැණික් වලට පනවන බදු ඉතාමත් ලිහිල් සහ සරල කර ඇතැයිද එමනිසා කිසිදු කෙනෙකුට මැණික් ගෙන්වීමේදී මැණික්වල වටිනාකම සහ අයකරන බදු සම්බන්ධයෙන් අපහසුතාවයකට පත් නොවන බවද ඕනම කෙනෙකුට පසුගිය කාලයට සාපේක්ෂව සුළු මුදලකට අපනයනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

    2024, 2025 කාලය තුළ මෙම කර්මාන්තය සෙමින් තායිලන්තය, හොංකොං සහ ඩුබායි වැනි වෙනත් රටවලට යාමට පටන් ගත් බවද මෙලෙස ආනයන දිරිමත් කිරීමටහේතු වූයේ එම කාරණය බවද සිහිපත් කළේය.බ්ලූ සෆායා වැනි මැණික් මෙරට ඉතාම ජනප්‍රිය වීමත්, පිටරට ගැණුම්කරුවන් ලංකාවේ මැණික් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද පැවසූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අවැසි නිසා මෙම තීරණ ගත් බවද සදහන් කළේය.

    ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට මෙරට මැණික් ප්‍රදර්ශන ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවද මැණික් සංගම් එකතු කරගනිමින් මහා පරිමාණ අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනයක් ලංකාව තුළ පැවැත්වීමට සූදානම් කරගෙන ඇතැයිද මෙම ප්‍රදර්ශනය ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට ඇතුලත් කර කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසා සිටියේ ය.