ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සේවා දැන් ඔන්ලයින්

    January, 7, 2025

    දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට‍ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතික කිරීම පිණිස, රජය විසින් ජාතික තනි කවුළු (Single Window) පහසුකමෙහි වැදගත්කම හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය අදාළ පාර්ශව සමඟ හුවමාරු කරගැනීම සඳහා මෑතක දී පවත්වන ලද රැස්වීමේ දී,  2025 ජනවාරි 01 වැනි දින සිට අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් වාණිජ මණ්ඩල නියෝජිතවරුන්ට දන්වන ලදී.  තව ද, අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව එහි දී දැනුවත් කෙරිණි.

    විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමඟින් තවත් ආයතන කිහිපයක් සේවා සැපයුම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර තිබේ. මේ වනවිට මෙම ජාතික තනි කවුළු ව්‍යාපෘතිය සමඟ දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක්, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය  සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් මෙම පහසුකම් සැලසීම අගය කරන ලදී.

    තෝරාගත් රජයේ ආයතන කිහිපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ  රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව සිය අනුකූලතාවය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාවක් අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත ලබා දීමට මේ තුළින් අරමුණු කෙරේ.

    මාර්ගගත ආකාරයෙන් සිය සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රැස්වීම සඳහා සහභාගී වූ පිරිස සාකච්ඡා කරන ලද අතර, ජාතික තනි කවුළු පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන තෙක් ප්‍රමුඛතාවය ලබා දී  ක්‍රියාත්මක කළ යුතු කරුණු සම්බන්ධයෙන් වාණිජ මණ්ඩල පහේ අදහස් සහ නිරීක්ෂණ ඉල්ලා සිටින ලදී. 2017 සිට මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ඉතා සීමිත මට්ටමක පවතින බව රැස්වීම සඳහා සහභාගීවූ පිරිස විසින් අවධානයට ලක් කළ අතර, එබැවින් අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා තරගකාරී වාසියක් ලබාගැනීම පිණිස ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ප්‍රමුඛතාවය ලබාදීම වැදගත් වේ. 2022 ජූනි මස ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයක් ස්ථාපනය කරන ලද අතර, එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

    නිෂ්පාදන ආර්ථිකයක් සඳහා පහසුකම් සැලසීම සහ අපනයන කාර්යයන් ඉහළ මට්ටමකට ගෙන යෑම මෙන්ම නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් සැලකූ විට එම පිරිසට කාර්යක්ෂම ලෙස ආනයන කටයුතු සහතික කිරීමේ අරමුණින් යුතුව  අදාළ පාර්ශවකරුවන් විසින් මෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ලබාගන්නා තුරු සහ අදාළ ආයතන විසින් අපේක්ෂිත ප්‍රගතිය අත්පත් කරගන්නා තුරු මෙම ව්‍යාපෘතියේ  කටයුතු සමඟ අඛණ්ඩව සම්බන්ධ වන ලෙස ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා වාණිජ මණ්ඩල පහේ නියෝජිතවරුන් වෙත ආරාධනා කරන ලදී.