ආයෝජකයෝ කාඩ් කුට්ටම අනා ගනිති

    January, 11, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම කඩා වැටීම අද වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 75.96 කින් පහළ ගිය අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 1.13% ක පහළ යාමකි. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,650.32 ක් ලෙසින් මේ වන විට සටහන්ව තිබේ. S&P SL20 දර්ශකය ද ඒකක 3,464.04 දක්වා ඒකක 50.37 කින් අද දිනයේ දී පහළ යන ලදී. එය 1.43% ක පරිහානියකි.

    සියලු කොටස් මිල දර්ශකය මෙසේ ඒකක 6,650 සීමාව කරා පැමිණියේ 2014 ජූලි 10 වනදායින් පසුවය.

    දිනය තුළ වාර්තා වුණු පිරිවැටුම රුපියල් මිලියන 991.5 කි. මේ සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි රු. 271,821,244 ක හා කොමර්ෂල් බැංකුවේ රු. 196,812,825 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වැඩි දායකත්වයක් ලබා දීමට කටයුතු කර තිබිණ.ඒ හැරෙන්නට සාමාන්‍ය ගනුදෙනුවලින් වැඩිම පිරිවැටුමක් වාර්තා කර තිබුණේ හැටන් නැෂනල් බැංකුවයි. එය රුපියල් මිලියන 72 කි.

    අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණු සයවැනි දිනය අදයි. ගෝලීය ආර්ථිකය තුළ වර්තමානයේ උද්ගතව ඇති අර්බුදකාරීත්වය හමුවේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළ මේ වන විට පසුවන්නේ අස්ථාවර පසුබිමකය.

    ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයෙහි ඇති ව තිබෙන කඩාවැටීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි. පසුගිය සතියේ දී චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලැබූ නව නීතියක් හේතුවෙන් 2016 ජනවාරි 04 හා ජනවාරි 07 දින දෙකෙහි එහි ගනුදෙනු විනාඩි කිහිපයකට පමණක් සීමාවිය.

    යම් දිනක් තුළ දී 7% ක් ඉක්මවා ප්‍රධාන මිල දර්ශකය පහළ යන අවස්ථාවක එහි ගනුදෙනු ස්වයංක්‍රීයවම අත්හිටුවීම එම නව නීතිය විය. එසේ අත්හිටුවෙන ගනුදෙනු යළි ආරම්භ වන්නේ ඊළඟ දිනයේ දීය. මෙම නීතිය 2016 වසරේ පටන් හඳුන්වා දුන් එකක් වූ අතර මීට පෙර පැවතියේ යම් අවස්ථාවක මිල දර්ශකයෙහි පහළ යාම 5% සීමවා ඉක්මවා යන විටක දී මිනිත්තු 15 කට පමණක් ගනුදෙනු අත්හිටුවන් ලැබීමයි. කෙසේ වෙතත් මෙම නව නීතිය ඉවත් කර ගැනීමට චීන බලධාරීහූ මේ වන විට පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය නම් සියලු කොටස් මිල දර්ශකය හෝ S&P SL20 දර්ශකය 5% ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යන අවස්ථාවක මිනිත්තු 30 ක කාලසීමාවකට සියලු ගනුදෙනු අත්හිටුවීමයි.

    ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පසුගිය ජනවාරි 04 වන දින චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවනු ලැබූ අවස්ථාවේ දී තැරැව්කාර සමාගමක ගනුදෙනු බිමට (Trading floor) පැමිණ සිටි ආයෝජකයින් පිරිසක් කාඩ් ක්‍රීඩාවේ නිරත වූ ආකාරය රොයිටර් කැමරාවට හසුවූ ආකාරයයි.