March, 20, 2025
දිගින් දිගටම පහළ බසිමින් තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද දිනයේ වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 256.77කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 94.93කින් ඉහළ යන ලදී.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,662.39ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,700.17 ක් ලෙසත් සටහන් විය.
පසුගිය මාර්තු 05 දින සිට ගනුදෙනු දින 10ක් තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දැකිය හැකිවූ දෙවන අවස්ථාව මෙයයි.
ප්‍රධාන වශයෙන් අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි. කොමර්ෂල්, HNB, සම්පත් හා DFCC යනු බැංකු සමාගම්වල කොටස් මිල ඉහළ යාම් එහිදී ප්‍රධාන වශයෙන් දායක වූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමෙන් ද සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකකත්වයත් ලැබී තිබුණි. අද දිනයේ දී සමාගම් 174 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
රු. බිලියන 3.67 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය. දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.56 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.52 ක් ලෙසින් එහිදී සටහන් වුණි. විදෙස් මිල දී ගැනීම් හා විකිණුම් පිළිවෙලින් රු. මිලියන 106 ක් හා රු. මිලියන 141 ක් ලෙසින් සාපේක්ෂව අවම මට්ටමක පැවතිණ.
දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය සියෙරා කේබල්ස් සමාගමෙන් ලැබී තිබුණු අතර රු. බිලියන 1.80 ක කොටස් ගනුදෙනු එහිදී සිදුවී ඇති බව කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දේ.
Video Story