August, 6, 2015
බත්තරමුල්ල අකුරේගොඩ ඉදිකරමින් තිබෙන ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා වාර්තා කිරීමට රජය විසින් පත්කළ නිළධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ අදාළ ව්‍යාපෘතියේ උපදේශක සේවා සැපයීම සඳහා තෝරාගෙන තිබෙන සමාගමක් පිළිබඳව අවධානය යොමුකර ඇතැයි රජය සඳහන් කරයි.
මේ අනුව, තරගකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම සමාගම තෝරාගෙන ඇති බවත් උපදේශක සේවා සැපයීම පිණිස තෝරා ගැනීමෙන් අනතුරුව මෙම සමාගම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ලියාපදිංචි වී ඇති බවත් රජය කියයි.
මීට අමතරව, රජය පවසා තිබෙන්නේ අදාළ බළධාරීන් විසින් එකී සමාගමේ සේවාවන් ලබාගැනීම සඳහා විධිමත් ගිවිසුමකට එළඹ නොමැති බවයි.
සමස්ත ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා මෙම සමාගමට රුපියල් මිලියන 606.32 ක් ගෙවීමට තීරණය කර තිබෙන බවත් 2015/05/31 දින වනවිට එම ආයතනයට රුපියල් මිලියන 509.926 ක් ගෙවා තිබෙන නමුත් මේ වනවිට අවසන් කර තිබෙන්නේ මුළු ව්‍යාපෘතියෙන් සියයට 30.02 ක් යැයි රජය සඳහන් කර ඇත.
මෙම සමාගම සම්බන්ධයෙන් නිළධාරී කමිටු වාර්තාවේ දක්වා ඇති ඉහත සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටත් එකී පරීක්ෂණයේ ප්‍රතිඵල මත යෝග්‍ය පරිදි නීත්‍යාණුකූලව කටයුතු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Video Story