ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය සඳහා අවශ්‍ය වන තොරතුරු සංචිතය ළඟදීම ගොඩනගන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි

    December, 15, 2015

    ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනගා තිබෙන අන්තර් ආයතන කාර්ය සාධක බලකායේ (Inter Agency Task Force on Promotion of Economic Diplomacy) දෙවන රැස්වීම ඊයේ (14) විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති අතර එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, සංචාරක ක්ෂේත්‍රයට අදාළ රජයේ ආයතන, තේ සංවර්ධන මණ්ඩලය ඇතුළු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් උපකාර වන ආයතනවල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර මෙහිදී ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

    යෝජනා කර තිබෙන මෙම අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) මගින් විදේශයන්හි තිබෙන මෙරට තානාපති කාර්යාල වලට මෙරට ඉතාමත් කාලීන ආර්ථික සහ සමාජ දත්ත ඇතුළු වැදගත් ආයෝජන තොරතුරු ලබාදීමට සැලසුම් කර ඇත. මෙම තොරතුරු සංචිතය මගින් වැදගත් තොරතුරු ලබාදීමේදී ඒවා වීඩියෝ මගින්ද ඉදිරිපත් කිරීම වැදගත් යැයි මෙහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.