ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ, පළමු පාලක මණ්ඩල රැස්වීමට මුදල් ඇමති එක්වෙයි

    January, 19, 2016

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, පළමු පාලක මණ්ඩල රැස්වීම, පසුගිය 16 දින චීන ජනාධිපති, Xi Jinping මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බීජිං නුවරදී ආරම්භ විය.

    මෙම රැස්වීමේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාය. ඊයේ (18) අවසන් වූ AIIB හෙවත් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ පළමු පාලක මණ්ඩල රැස්වීමට, එම බැංකුවේ සාමාජික රටවල් 57 ක මුදල් අමාත්‍යවරු හා මූල්‍ය විශේෂඥයෝ සහභාගිවී සිටියහ.

    AIIB පාලක මණ්ඩල රැස්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවූ තවත් සුවිශේෂී අවස්ථාවක් විය.

    මෙහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා, පාලක මණ්ඩල රැස්වීමට සහභාගිවූ රටවල් ගණනාවක, මුදල් අමාත්‍යවරු සමඟ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ, ආර්ථික සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබීය. ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුව, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් චීනය කේන්ද්‍ර කරගෙන පිහිටුවා ගත් තවත් ජාත්‍යන්තර බැංකුවකි.