January, 18, 2016
මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆිනෑන්ස් සමාගම ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව මෙරට ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය දැක්වීමේ අරමුණින් ඩොලර් මිලියන 69 ක ණය ප්‍රදානයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කරනු ඇත.
මෙම ප්‍රදානය පිළිබඳ අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ පුද්ගලික අංශ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ආයෝජන විශේෂඥ මොනිෂා හර්මන්ස් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩකටත් වඩා දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන්. එසේම රටේ සමස්ත සේවා නියුක්තියෙන් 70% කට පමණ හිමිකම් කියන්නේත් මෙම අංශයයි. එහෙත් මෙම ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී කාර්යක්ෂමව, ඉක්මනින් අදාළ පහසුකම් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරී තිබෙනවා. LOLC ෆිනෑන්ස් ඉතා සාර්ථක ලෙසින් සිය ව්‍යාපාරික කටයුතුවල නිරත වෙනවා. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා දිගුකාලීන අරමුදල් ලබා දීම තුළින් සාර්ථක ඉතිහාසයකට ඔවුන් හිමිකම් කීමත්, දිවයින පුරාවටම ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර තිබීමත්, LOLC ෆිනෑන්ස් සමඟ අපගේ අත්වැල් බැඳ ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවුණා“.
LOLC සමූහයේ සමාගමක් වන LOLC ෆිනෑන්ස්, වත්කම් පරිමාව අතින් මෙරට දෙවැනියට විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයයි. රට පුරා ශාඛා 140 කට එය හිමිකම් කියනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් LOLC හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ කියා සිටියේය. “ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවත් සමඟ අප ඉතා සමීපව කටයුතු කරනු ලබනවා. පළමු වරට මැදපෙරදිග කලාපයේ බැංකු හරහා ආසියානු සංවර්ධන බැංකුව අපගේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා මෙලෙස දායක වීම ඉතා වැදගත් කටයුත්තක් ලෙසින් හැඳින්විය හැකියි“.
ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන මෙම ණය මුදල කාණ්ඩ දෙකකින් යුක්ත වේ. A කාණ්ඩය යටතේ ඩොලර් මිලියන 30 ක ණය මුදලක් වසර 7 ක් පුරාවට මෙහිදී ලබා දෙන අතර B කාණ්ඩය යටතේ ආසියනු සංවර්ධන බැංකුව විසින් ණය ලබා දෙන ලද මැදපෙරදිග වාණිජ බැංකු හරහා වසර 3 ක් පුරාවට ඩොලර් 39 ක් සපයනු ලබයි.
Video Story