ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක සහන ණයක්

    December, 28, 2016

    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක සහන ණය මුදලක් ලබා දීම වෙනුවෙන් වූ ඊට අදාළ ගිවිසුම් සඳහා ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ.

    මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අත්සන් කළ අතර, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී මහත්මිය අත්සන් කළාය.

    මෙම ආයෝජනයේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 440ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් අදියර දෙකක් යටතේ සැපයේ. එහි පළමු කොටස සඳහා වන ගිවිසුම 2014 වසරේ නොවැම්බර් මස දී අත්සන් තැබිණි. අද අත්සන් තැබුණේ එහි දෙවැනි අදියර වෙනුවෙනි. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 140ක මුදල විදුලි බල මණ්ඩලය මගින් දරනු ඇත.

    මෙම ණය මුදලේ දෙවන අදියර යටතේ පහත සඳහන් කටයුතු සිදුකිරීමට නියමිතය.

    විදුලිය බෙදාහැරීමේ යටිතල පහසුකම් දියුණු කිරීම,

    මධ්‍ය වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම,

    මනු කියවීම් උප නියමු ව්‍යාපෘතියක් මඟින් බලය කාර්යක්ෂම කිරීම සඳහා

    පාරිභෝගිකයන්ගේ පාර්ශවය කළමනාකරණය කිරීම.

    මෙම වැඩසටහන යටතේ ඌව පළාත හැර දිවයිනේ අනෙකුත් සියලුම පළාත්වලට ඍජු ප්‍රතිලාභ ලැබේ.