ආසිරි සහ ඩුනාමිස් පිහිටෙන් කොටස් පිරිවැටුම ඉහළට

    January, 31, 2017

    අද (31) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,132.68 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 7.86 ක පහළ යාමකි.

    දිනය තුළ රුපියල් බිලියන 1.65 ක පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂ සිද්ධියක් වූ අතර ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් ඊට අන්තර්ගත විය. මෙහිදී ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් හි කොටස් 30,536,611 ක් රු. 25.50 බැගින් ගනුදෙනු වීම ඉහළම පිරිවැටුමක් වාර්තා වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව වූ අතර ඉන් රුපියල් මිලියන 778.68 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.

    මීට අමතරව ඩුනාමිස් කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් 16,061,599 ක් රු. 25.00 බැගින් වූ ගනුදෙනුව හරහා රු. මිලියන 401.54 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවලින් පිළිවෙලින් රු. මිලියන 167.83 ක් හා රු. මිලියන 48.14 ක් බැගින් වාර්තා විය.