ආහාර මිල වැඩිවීමෙන් ජූනි උද්ධමනය 6.4% ට නගී

    July, 22, 2016

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කල 5.3% සිට 2016 ජූනි මාසයේ දී 6.4% දක්වා ඉහළ ගොස් තිබේ. 2016 ජූනි මස ල්ක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 මැයි මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.7 සිට 2016 ජූනි මාසයේ දී දර්ශක අංක 116.1 දක්වා 2.1% ක වැඩිවීමක් වාර්තා වේ.

    මෙම වැඩිවීම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, අමුමිරිස්, සහල්, නැවුම් මත්ස්‍ය, සීනි, අර්තාපල් සහ රතු ළූණු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය.

    ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ නඩත්තු කටයුතු, සන්නිවේදන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් 2016 ජූනි මාසය තුළ දී ඉහළ ගියේය.
    මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයෙහි මිල ගණන් 2016 ජූනි මාසය තුළ දී පහළ ගියේය.

    කෙසේ වුවද සෞඛය, ප්‍රවාහන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන උප කාණ්ඩ මාසය තුළ දී නොවෙනස්ව පැවතුණි.