ආහාර සහ කෘෂිකර්ම සංවිධානය යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව මෙරට ධීවර කර්මාන්තය නගා සිටුවයි

    June, 16, 2016

    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරුන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු සැසි රැසක් සංවිධානය කර ඇත. මරු වැල් පන්න ක්‍රමය (Longline) නැගෙනහිර පළාතට හඳුන්වාදීමත් සමග මෙම පුහුණු සැසිවල අවශ්‍යතාව බෙහෙවින් පැන නැගිණ.

    මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකා රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබා දෙන යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) සුවිශේෂී පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමස්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර මුදල යුරෝ මිලියන 60 කි.

    පරිසර හිතකාමී මෙන්ම දේශීය සහ විදේශීය වෙළඳපල සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දිය හැකි මරු වැල් පන්න ක්‍රමය සඳහා තෝරා ගත් ධීවරයන් යොමු කිරීමට ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙම වැඩසටහන යටතේ කටයුතු කර ඇත. බිලී කොකු අමුණන ලද වැල් භාවිතා කෙරෙන මෙම ධීවර ක්‍රමය 1950 දශකයේ අග භාගයේ පටන් මෙරට ධීවරයන් විසින් භාවිතා කරන ලද ධීවර ක්‍රමයකි. කෙසේවෙතත්, යුද වාතාවරණය හේතුවෙන් එම ක්‍රමයට අදාළ තාක්ෂණික දැනුම නැගෙනහිර පළාතේ ධීවරයන් හට නිසි ලෙස හිමි නොවීය. එබැවින්, නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට ද මෙම ක්‍රමය සාපේක්ෂව නව අත්දැකීමක් වේ.

    "ධීවර කර්මාන්තය මෙරට ආර්ථිකයට තුන් වැදෑරුම් දායකත්වයක් ලබා දෙන බැවින් මෙරට ධීවර කර්මාන්තය නගාසිටුවීම ඉතා වැදගත් වනවා. මෙමගින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සම්බන්ධව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ද හැකි වනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සමග ඇතිකර ගත් සබඳතාව යුරෝපා සංගමය ඉතා වැදගත් සේ සලකනවා." යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගී ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මෙනවිය සඳහන් කළාය.

    ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයට සම්බන්ධ ධීවර පරීක්ෂක සහ සහකාර පරීක්ෂකවරුන් 25 දෙනෙකු සඳහා පැවැත්වුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු සැසි මරු වැල් පන්න ක්‍රමයේ ප්‍රධාන අංග පිළිබඳ විශේෂ අවධානයට ලක් කරමින් ක්‍රියාත්මක විය. මරු වැල් පන්න භාවිතය, ධීවර ආම්පන්නය සූදානම් කිරීම, Fish Finder, GPS සහ මුහුදු රේඛා සටහන් කියවීම ආදී තාක්ෂණික මෙවලම් භාවිතය ආදිය පුහුණු සැසිය තුළ අවධානයට ලක් කෙරුණු අංග අතර වෙයි. අනවසර ධීවර ක්‍රමවේද සහ සාගර සම්පත් සූරාකෑම බහුලව පවතින තත්ත්වයක් තුළ, වගකීම්සහගත කරදිය ධීවර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම ද ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු පුහුණු සැසිවලදී අවධාරණය කළෝය. අම්පාර දිස්ත්‍රික්කයේ පුහුණු සැසියට සමාන පුහුණු සැසි දෙකක් මඩකළපුව දිස්ත්‍රික්කයේ ධීවර නිලධාරීන් සඳහා ද ක්‍රියාත්මක කෙරුණු අතර එම පුහුණු සැසි දෙකෙහිදීම නාවලාඩි මුහුදු තීරයේදී ම GPS සහ Fish Finder තාක්ෂණය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීම විශේෂත්වයකි.

    "තමන් යොදවන ශ්‍රමයට සරිලන ලෙස මසුන් අල්ලා ගැනීමට නොහැකි වීම ධීවරයන් මුහුණ දෙන ප්‍රධානත ම අභියෝගයයි. මත්ස්‍ය ක්‍රියාකාරී ප්‍රදේශ හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි වීම ඊට බෙහෙවින් බලපා තිබෙනවා. මිට පෙර GPS තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ විවිධ අවස්ථාවලදී ධීවරයන් අපගෙන් විමසා තිබුණ ද, ඔවුන්ට ප්‍රමාණවත් තරම් සහයෝගයක් ලබා දීමට අපට නොහැකි වුණා. Fish Finder සහ GPS තාක්ෂණය පිළිබඳ අපට හිමි වූ පුහුණුව මගින් ධීවර ජනතාවට වඩාත් යහපත් සේවාවක් ලබා දීමට අපට හැකි වනවා." අම්පාර දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධීවර නිලධාරී එම්.අයි. සම්පත් මහතා ප්‍රකාශ කළේය.
    ධීවර නිලධාරීන් හට මෙමගින් හිමි වූ දැනුම පුහුණු සැසි, තාක්ෂණික සහයෝගය සහ සුදුසු වෙනත් වැඩසටහන් මගින් ධීවර ජනතාවට ලබා දීමට නියමිතය.

    ව්‍යාපෘතිය පිළිබඳ අදහස් පළ කරමින් FAO-SDDP වැඩසටහනේ නැගෙනහිර පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක කපිල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නිෂ්පාදනය සහ විවිධාංගීකරණය තුළින් ග්‍රාමීය ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මරු වැල් පන්න ක්‍රමය හඳුන්වා දීමේ මූලික අරමුණ බවය. මඩකළපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ධීවර සංවිධාන 20 ක් නියෝජනය කරමින් ධීවරයන් 50 දෙනෙකු මරු වැල් පන්න ක්‍රමය සඳහා තෝරා ගෙන ඇති අතර අම්පාර දිස්ත්‍රික්කය තුළ ධීවරයින් සම්බන්ධකර ගැනීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක වනවා. මෙලෙස පුහුණුව ලබන ධීවර පරීක්ෂකවරුන් සහ ධීවරයන් සිය තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව බෙදාහදා ගනිමින් නැගෙනහිර පළාතේ කරදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවීමට දායක වනු ඇති.

    සේයා රූ සටහන - අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරුන් නාවලාඩි අවට මුහුදේදී Fish Finder තාක්ෂණය පිළිබඳ පුහුණුව ලබමින්