ඇඟලූම් අංශයේ ‘රන්සළු‘ ලෝයල්ටි ප්‍රිවිලේජ් වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ සහාය

    February, 17, 2016

    ඇඟලූම් කර්මාන්තයේ සේවකයින්ට ප්‍රතිලාභ හිමිකර දෙන ඩෙබිට් කාඩ්පතක් හඳුන්වාදීමට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය, චැනල් 17 සහ මාස්ටර් කාඩ් සමග එක්වෙයි

    මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව, ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ ඇඟලූම් අංශයේ සේවකයින් වෙනුවෙන් ලෝයල්ටි වැඩසටහනක් කළමනාකරණය කරන චැනල් 17 සමාගම සමග එක්ව ඇඟලූම් ක්ෂේත්‍රයේ සාමාජිකයින් වෙත විශේෂ ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි සුවිශේෂී හරපතක් (ඩෙබිට් කාඩ්) හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍රයේ සේවයේ නියුතුවූවන්ට සහයෝගය දක්වා තිබේ.

    කොමර්ෂල් බැංකුව සහ මාස්ටර් කාඩ් විසින් හඳුන්වා දී තිඛෙන ඩෙබිට් කාඩ්පත ‘රන්සළු ප්‍රිවිලේජ් කාඩ්‘ නමින් හඳුන්වන අතර මෙය දැනටමත් කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තිඛෙන හෝ අළුතින් ගිණුමක් විවෘත කරන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ ඕනෑම සාමාජිකයෙකුට නොමිලේ හිමිවේ.

    මෙම කාඩ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකු ඩෙබිට් කාඩ් හිමියන්ට සාමාන්‍යයෙන් හිමිවන පුළුල් වරප්‍රසාද සහ වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව ලැඛෙන අතරම ‘රන්සළු ලෝයල්ටි වැඩසටහන‘ යටතේ වන අමතර ප්‍රතිලාභ ලබාගැනීමට ඔවුන් සුදුසුකම් ලබයි. එසේම, 350,000 කට අධික සාමාජිකයින් ප්‍රමාණයක් ඉලක්ක කරන ‘රන්සළු ලෝයල්ටි වැඩසටහන‘ මගින් හිමිවන ප්‍රතිලාභ ලබාගැනීමට හඳුනාගැනීමේ පතක් ලෙසද මෙම ඩෙබිට් කාඩ් භාවිතා කළ හැකිවේ.

    රන්සළු ප්‍රිවිලේජ් ලෝයල්ටි වැඩසටහන මගින් දැනටමත් තම සාමාජිකයින්ට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, රෝහල්ගත වීම සහ ඖෂධ නිෂ්පාදන මෙන්ම ඇඟලූම් සඳහා මේ වනවිටත් වට්ටම් ලබාදෙයි.

    “ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථීකය තුළ ඇඟලූම් අංශයට ඉතා ඉහළ වැදගත් කමක් හිමිවෙනවා. මේ නිසා, එම අංශයේ සේවයේ නියුතුවූවන් එම අංශයේම රඳවා ගනිමින් ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම ඉතාමත් අවශ්‍ය වෙනවා,“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “මේ නිසා, රන්සළු ලෝයල්ටි වැඩසටහන හරහා මෙම සුවිශේෂී ඩෙබිට් කාඩ්පත හඳුන්වා දෙමින් ඇඟලූම් ක්ෂේත්‍රයේ සාමාජිකයින්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව අතිශය සතුටට පත්වෙනවා.“

    මේ පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා මෙසේ අදහස් දැක්වීය. “රන්සළු ලෝයල්ටි වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදීම නිසා එහි වටිනාකම තව තවත් වැඩිවී තිඛෙන අතරම එය අපගේ සාමාජිකයින් අතර වඩාත් ප්‍රචලිත වීමට හේතුවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.“

    මෙහිදී අදහස් දැක්වූ මාස්ටර් කාඩ් ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු, ආර්.බී. සන්තෝෂ් කුමාර් මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “මාස්ටර් කාඩ් සහ කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වීමේ ශක්තිය තුළින් බොහෝ ශ්‍රී ලාංකිකයින් ප්‍රතිලාභ ලබනවා. මෙම වැඩසටහන මගින් මෙරට ඇඟලූම් අංශයේ සේවකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව මාස්ටර් කාඩ් ආයතනය සතුටු වෙනවා. මෙම හරපත මගින් ඔවුන්ගේ මූල්‍ය කටයුතු නිසිලෙස කළමනාකරණය කර ගැනීමට හැකිවන අතරම අනිකුත් බොහෝ වරප්‍රසාද ඔවුන්ට හිමිකර ගත හැකියි.“

    චැනල් 17 සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, ජුමාර් ප්‍රීනා මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ වැඩිම රැකියා ප්‍රමාණයක් බිහිකරමින් ජාතික ආර්ථීකයට වැඩිම වර්ධනයක් සහිත දායකත්වයක් දක්වන ඇඟලූම් අංශයේ සේවකයින් එම කර්මාන්තය තුළ රඳවා තබාගැනීමට රන්සළු ලෝයල්ටි වැඩසටහන සහයෝගය දක්වන බවයි. “චැනල් 17 සමාගමේ සුවිශේෂී ලෝයල්ටි වැඩසටහන සඳහා කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය හිමිවෙනවා. මෙම වැඩසටහන සඳහා ජාතික විදුලි සංදේශ ප්‍රමුඛයා වන මොබිටෙල් විසින් තොරතුරු තාක්ෂණික සහයෝගය ලබාදෙන අතර ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ආයතනය කටයුතු කරන්නේ නිළ කාඩ් සැපයුම්කරුවා ලෙසයි“, යනුවෙන් ඔහු පැවසීය. “මෙරට ඇඟලූම් අංශයේ සැලකිය යුතු කොටසක් සඳහා බැංකු සේවා ලබාදෙන කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කළ මෙම වැඩසටහන අගය කරන අතර බැංකුව විසින් ලබාදෙන ඉහළ අගය එකතු කළ සේවාවන් ලබාගැනීමට අපි බලාපොරොත්තු වනවා“, යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරතන්ම් මහතා (වමේ සිට 05 වැන්නා) සහ චැනල් 17 සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, ජුමාර් ප්‍රීනා මහතා ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ අලෙවිකරණ කළමනාකරු, අර්ජුන හේරත් මහතා, බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුසිත සුරවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ විධායක කමිටුවේ සභාපති එම්.එල්.එන්. පියතිලක මහතා, මාස්ටර් කාඩ් ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු සන්තෝෂ් කුමාර් මහතා, ඒකාබද්ධ ඇඟලූම් සමාගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා, ලේක් හවුස් ප්‍රින්ටර්ස් සමාගමේ ටෝනි ජෝන්පිල්ලේ මහතා සහභාගී විය.