ඇමරිකන් සමාගමක් වන Fiserv සමග කොමර්ෂල් බැංකුව ‘ComBank Digital’ අරඹයි

    June, 15, 2020

    ඇමරිකාව පදනම් කරගත් මූල්‍ය සේවා තාක්ෂණ සැපයුම්කරුවෙකු වන Fiserv විසින් බලගන්වන ‘ComBank Digital’ ඇප් එක හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව විසින් තම සියළුම අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් තනි ප‍්‍රවේශයකට ගොනුකර තිබේ.

    අන්තර්ජාල බැංකුකරණ, ජංගම දුරකතන සහ ජංගම බැංකුකරණ ඇප් පහසුකම් ඇතුළු අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් කොමර්ෂල් බැංකුව විසින් ඉතාමත් ආරක්ෂිත නව එක් සපිරි නාලිකාවක් තුළට ගොනුකර තිබෙන අතර ප‍්‍රතිචාර දැක්විය හැකි මෙම වෙබ් අයදුම පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට භාවිතා කිරීමේ හැකියාව තිබේ. මෙම වෙබ් අයදුම වඩාත් ආකර්ශනීය ස්වරූපයක් ගන්නවාට අමතරව එය භාවිතා කරන්නන්ට තොරතුරු සහ ඔවුන්ට අවශ්‍ය විකල්ප ලබාගැනීම සඳහා මාර්ගෝපදේශනය ලබාදෙයි. තිබූ වෙබ් අයදුමට වඩා මෙය ක‍්‍රියාකාරී එකක් වන අතර එමගින් භාවිතා කරන්නන්ට වඩාත් පහසු අත්දැකීමක් ලබාදීමට සමත් වේ.

    කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ ‘ComBank Digital’ සතුව බැංකුවටම ආවේණික ජංගම දුරකතන ඇප් එකක් තිබෙන නිසා එමගින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ මූල්‍ය ගනුදෙනු ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව  ඕනෑම ස්ථානයක සිට සිදුකිරීමේ අවස්ථාව ලබාදෙන බවයි. මෙම ජංගම දුරකතන අයදුම iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙකෙහිම ක‍්‍රියාකළ හැකි අතර මෙය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තිබෙන අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට සහ යහ ක‍්‍රමවේදයන්ට අනුකූලව සකස් කර ඇත.

    භාවිතා කරන්නන්ගේ පහසුව වැඩිකිරීම සඳහා ‘ComBank Digital’ මගින් ඔවුන්ගේ ඩිජිටල් බැංකුකරණ වරණයන් තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා විකල්ප මාලාවක් ලබාදී තිබේ. මෙහිදී, බැංකුව විසින් තම ඩිජිටල් බැංකුකරණ පහසුකම් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් බැංකු නියෝජිතයෙකුගේ සහයෝගයෙන් තොරව තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

    මෙම තනි ඩිජිටල් පද්ධතිය දැනටමත් බැංකුවේ අන්තර්ජාල හෝ ජංගම දුරකතන බැංකු සේවා භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියළුම උපකරණ වලට ඉතාමත් පහසුවෙන් ඇතුළත් කළ හැකිවේ. මෙම පහසුකම ලබාගැනීම සඳහා තවමත් ලියාපදිංචි වී නොමැති  ඕනෑම කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියෙකුට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වියහැකි අතර බැංකු ශාඛාවක් වෙතට නොගොස් මෙම පහසුකම් ලබාගත හැකිබව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ වනවිටත් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ගනුදෙනුකරුවන් ලෙස ලියාපදිංචි වී තිබෙන ගනුදෙනුකරුවන්ට ඔවුන් සතු ඇතුළුවීමේ තොරතුරු භාවිතා කරමින් මෙම පහසුකම භාවිතා කළ හැකිවේ. මීට අමතරව, මෙම පහසුකම මගින් ලබාදෙන කාලය ඉතිරිකර ගැනීමේ අවස්ථාව භාවිතා කරමින් ‘ComBank Digital’ තුළින් නව ගිණුම් විවෘත කරගැනීමේ අවස්ථාවත් අන්තර්ජාලය ඔස්සේ ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාවත් ලබාදී ඇත.

    ‘ComBank Digital’ එළි දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පාරිභෝගිකයන්ට සේවා ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සෑමවිටම අර්ථවත් නවෝත්පාදනයන් සිදුකරනවා. මෙම නව පද්ධතිය මගින් අපගේ සියළුම ඩිජිටල් සේවා තනි නාලිකාවකට ගොනු කරන අතර ඉතාමත් වේගයෙන් සහ පහසුවෙන් එම සේවාවන් ලබාගැනීමේ අවස්ථාව මේ තුළින් උදාවෙනවා. මෙමගින් ගනුදෙනුවල ආරක්ෂාව තවදුරටත් සුරක්ෂිත වන අතර පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතු කිරීමට අප විසින් දරන කැපවීමට තවත් සහයෝගය ලබාදෙමින් කඩදාසි රහිත ගනුදෙනු කිරීමට මේ මගින් අවස්ථාව උදා වෙනවා.’

    ජංගම, ඉතිරිකිරීමේ, ආයෝජන, ණය සහ ක්‍රෙඩිට් කාඞ් ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම, ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය සඳහා අයදුම් කිරීම, භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම සහ කොටස් ගනුදෙනු සඳහා ගෙවීම් කිරීම ‘ComBank Digital’ පහසුකම තුළින් ඉතාමත් ආරක්ෂාකාරීවත් පහසුවෙනුත් කළ හැකිවේ. මෙම සේවාව මගින් තමන්ගේ ගිණුම්වල සිට කොමර්ෂල් බැංකුවේ තුන්වන පාර්ශවයේ ගිණුම් වෙතත් අනිකුත් බැංකුවල තිබෙන ගිණුම් වෙතත් ඒ අවස්ථාවේදීම ගනුදෙනු සිදුකළ හැකිවේ.

    මීට අමතරව, ‘ComBank Digital’ නාලිකාව තුළින් දුරකතන, විදුලිය, ජලය, ක්‍රෙඩිට් කාඞ්පත්, රක්ෂණය, පේ ටී.වී., අධ්‍යාපන, පාසැල් ඇතුළු අංශ නමයකට අයත් ආයතන 68 කට වැඩි ප‍්‍රමාණයක් වෙත බිල්පත් ගෙවීමේ අවස්ථාවද ලබාදී ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.