ඇමරිකාවෙන් ආවාටත් වඩා වැඩියෙන් ඊශ්‍රායලයෙන් ලංකාවට ඇවිත්

    October, 23, 2024

    එක්සත් ජනපදය විසින් අද (23) පෙරවරුවේ, ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් හට අවවාදාත්මක දැනුම් දීමක් කර තිබුණි. එයින් කියැවුණේ ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන් හට විශ්වාසනීය තොරතුරක් ලැබී ඇති බවයි.

    මේ අතර ‍මේ සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන් ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ, ඊශ්‍රායල ජාතිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති බවත්, එම ප්‍රදේශයට එන ඊශ්‍රායල ජාතිකයින්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බවත්ය.

    “ආරුගම්බේ ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක්. ඊශ්‍රායල ජාතිකයින්ට බොහෝ විට ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රදේශ බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම සර්ෆින් ක්‍රීඩාව සමඟම. ඒ නිසා තමයි ඒ ප්‍රදේශයේ වෙන් වූ ස්ථානයක් ඔවුන් ස්ථාපිත කරගෙන තියෙන්නේ.“

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව පසුගිය 2024 සැප්තැම්බර් මාසය තුළ මෙරටට පැමිණ ඇති ඊශ්‍රායල සංචාරකයින් සංඛ්‍යාව 3,142 කි. මෙහි ඇති විශේෂත්වය නම් සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණි ඇමරිකානු සංචාරකයින් ප්‍රමාණය වූ 2,460ට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයෙන් පැමිණ තිබීමයි. එම මාසය තුළ මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි රටවල් ලැයිස්තුවේ 13 වැනි ස්ථානය ඊශ්‍රායලයට වෙන්ව තිබේ.

    තවද 2024 වසරේ ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ මුළු ඊශ්‍රායල සංචාරකයින් ප්‍රමාණය 21,384 කි. අද දෙරණ Business කළ මෙම නිරීක්ෂණයට අනුව 2023 වසරේ දී මෙරටට පැමිණ ඇති සමස්ත ඊශ්‍රායල සංචාරකයින් සංඛ්‍යාව 19,517 කි. මෙම දත්ත වාර්තාවලට අනුව ඊශ්‍රායලය යනු ශ්‍රී ලංකාවට වැදගත් සංචාරක මූලාශ්‍රයක් බව පෙනී යනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව තුළ දී ඊශ්‍රායල ජාතිකයින් ප්‍රහාරයකට ඉලක්කයක් වන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් කළ හැකි සිදුවීමක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ.