ඇමරිකාව තුළ ලංකාවේ නම හදන්න ප්‍රචාරණ සමාගම් දෙකකට දෙයි

    August, 20, 2014

    පසුගිය වසරේ මාර්තු මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා Thompson Advisory Group LLC (TAG) නැමති ප්‍රචාරණ සමාගම සමග සහ 2014 අගෝස්තු මාසයේ සිට Liberty International Group LLC නැමති ප්‍රචාරණ සමාගම එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාවේ ප්‍රතිරූපය නැංවීමේ ප්‍රචාරණ වැඩසටහනක් ඇමරිකාවේ දියත් කළබව බැංකුව පවසා තිබේ.

    මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් අරමුණු කර තිබෙන්නේ ඇමරිකාව තුළ ලංකාවේ දේශපාලන හා ආර්ථික ප්‍රතිරූපය නංවා එරට ආයෝජකයින්ට ලංකාව කෙරෙහි තිබෙන උනන්දුව වැඩි කිරීමයි.

    මෙහිදී, ලංකාව පිළිබඳ නිරවුල් අදහසක් ඇමරිකානුවන්ට ලබාදීමට අදාළ ප්‍රචාරණ සමාගම් වලට පැවරී ඇතැයි සඳහන්ය.
    ලංකාවට එරෙහිව වැරදි මත ප්‍රචාරණය කරන සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන්නේ යැයි පසුගිය කාලයේදී දැකගත හැකිවූ බවත් එය රටේ ආර්ථික ස්ථායීතාවයට තර්ජනයක් බවත් මහ බැංකුව කියයි.

    මේ නිසා, මහ බැංකුව තීරණය කර තිබෙන්නේ මෙරට ආර්ථිකයට ඉතාමත් වැදගත් රටක් වන ඇමරිකාව තුළ ලංකාවේ ප්‍රතිරූපය නැංවීමට මෙම ප්‍රචාරණ සමාගම් වෙත පැවරීමටයි.