ඉඩම් මැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් රට පුරා

    March, 30, 2021

    ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්ය එස්. එම්. චන්ද්රසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ඒ මහතා මේ බව පැවසුවේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පැමිණ සිටි මන්ත්රීවරුන් ගෙන ආ යෝජනාවකට පිළිතුරු ලබාදෙමින්ය.
    විශේෂයෙන් ඉඩම් මැනීමේ කටයුතු විධිමත්ව සිදු නොවන බවත් ඉතාමත් මන්දගාමී බවත් එබැවින් මේ වෙනුවෙන් කාර්යක්ෂම වැඩපිළිවෙලක් අවශ්ය බවත් හැකිනම් මේ වෙනුවෙන් ජංගම සේවයක් ඉක්මනින් ලංකාව පුරා ඇති කිරීම සුදුසු බවත් උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්රීවරු යෝජනා කළහ. මෙහිදී පැමිණ සිටි ඉඩම් අමාත්යංශ නිලධාරීන් පැවසුවේ දැනටමත් නියමු ව්යාපෘතියක් ලෙස තිරප්පනේ ප්රදේශයේ නවීන තාක්ෂණය යොදාගෙන මෙම ජංගම සේවය ආරම්භ කරනු ලබන බවයි.
    එසේම “බිම් සවිය” ඉඩම් නිවැරදිව මැනීම් කටයුතු සිදුකොට ඉක්මනින් ඔප්පු ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලෙසද පැමිණ සිටි මන්ත්රීවරුන් විසින් මෙහිදී සඳහන් කරන ලදි. මෙම ඉඩම්වල සිටින ජනතාවට බැංකු ණයක් ගැනීමේදී පවා ගැටලු ඇති වන බවත් වසර 15/20 පමණ කාලයක සිට මෙම ගැටලුවට මෙම ජනතාව මුහුන දෙන බවත් පැමිණ සිටි මන්ත්රීවරු පැවසූහ.
    මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉඩම් මැනීමට කැමැත්තක් දක්වන ඉඩම් හිමියන්ගේ ඉඩම් ඉක්මනින්ම මැන ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස ද අමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.