ඉතිහාසගත වැට් වංචාවේ ඉතිරි වරදකරුවන්ට බිලියන 30ක දඩ

    September, 26, 2014

    ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී විදේශ ගතව සැඟව සිටින විත්තිකරුවන් 08 දෙනාට එක් අයෙකුට වසර 20 ක් බැගින් සිරදඬුවම් සහ සියළුම දෙනාට රුපියල් බිලියන 30 කට ආසන්න දඩ මුදලක් කොළඹ මහාධිකරණය විසින් පනවයි.

    මෙම නඩුව අද විභාග වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

    මීට අමතරව, විනිසුරුවරිය නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම වරදකරුවන්නේ දේපොළ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

    මෙම වැට් බදු වංචාවට අදාළ නඩුවේදී චෝදනා 34 කට වරද පිළිගත් එම නඩුවේ පළමු විත්තිකරු වන හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් (වැට්) ඥානසිරි ජයතිලකට රුපියල් බිලියන 12 කට ආසන්න දඩයක් කොළඹ මහාධිකරණය විසින් පසුගිය මැයි මාසයේදී නියම කළේය.
    එහිදී ඔහුට චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවමක් එකවර ගෙවී යන සේ නියම කර ඇත.
    මෙම මහා පරිමාණ වංචාව 2002-2004 කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ සිදුව තිබූ අතර මෙම නඩුවේ සිටින විත්තිකරුවන් ප්‍රමාණය 14 කි.
    එම නඩුවේ දෙවන විත්තිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ආනන්ද අඹේපිටිය ඇතුළු විත්කරුවන් පස්දෙනකු පෙර අවස්ථා දෙකකදී වරද පිළිගැනීම නිසා මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩ හා සිරදඬුවම් නියම කර තිබුණි.