ඉතිහාසයේ මාසයක් තුළ පැමිණි දෙවැනියට වැඩිම සංචාරකයින් සංඛ්‍යාව

    February, 6, 2025

    මෙතෙක් ඉතිහාසයේ දෙවන වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි මාසය තුළ 252,761ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

    මින් පෙර 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී මසක් තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර එම සංඛ්‍යාව දැක්වුනේ 253,169ක් ලෙසයි.

    පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේ දී 208,253ක සංචාරක පැමිණීමක් වාර්තා වූ අතර මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදෙස් සංචාරක පැමිණීමක් වාර්තා වූ 2018 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වුනේ 238,924 ක් ලෙසයි.

    මෙම වසරේ ජනවාරි මාසයේ සෑම දිනක් තුළම 6800 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 9,788 ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි 24 වනදායි.

    මේ අතර ජනවාරි මාසයේ 17.2%ක එනම් 43,375ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වෙයි.

    මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 34,096ක්, එක්සත් රාජධානියෙන් 21,730ක්, චීනයෙන් 16,709ක් ලෙස 2025 ජනවාරි මාසයේ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.