ඉතිහාසයේ වැඩියෙන්ම සංචාරකයින් පැමිණි මාස 02 දී සංචාරක ඉපැයීම් 5%කින් අඩුවෙලා

    March, 14, 2026

    2026 ජනවාරි සහ පෙබරවාරි මාස 02 මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාස 02 බවට වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ 2026 ජනවාරි මාසයේ 277,327 ක් සහ පෙබරවාරි මාසයේ 279,328 ක් ලෙසින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි.

    එහිදී 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි 252,761ක් වූ සංචාරකයින් පිරිසට වඩා 9.7%ක වැඩි ප්‍රමාණයක් 2026 ජනවාරි මාසයේ දී පැමිණ තිබෙන අතර 2025 පෙබරවාරි මාසයේ දී පැමිණි 240,217ක සංචාරකයින් ප්‍රමාණයට වඩා 16.2%ක වැඩි පිරිසක් 2026 පෙබරවාරි මාසයේ දී පැමිණ තිබේ. සමස්තයක් ලෙස 2025 ජනවාරි-පෙබරවාරි මාස 02 තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණය 492,978ක් වන අතර එහි 12.9%ක වර්ධනයක් සනිටුහන් කරමින් 556,655ක සංචාරකයින් සංඛ්‍යාවක් 2026 මුල් මාස 02 දී මෙරටට පැමිණ ඇත.

    කෙසේවෙතත් සංචාරක පැමිණීම් මෙලෙස සැලකිය යුතු ලෙස ඉහළ ගියත් සංචාරක ඉපැයීම් අදාල වකවානුව තුළ දී පහළ ගොස් තිබීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.

    2025 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 400.7 ක් ලෙසින් සටහන් ව තිබූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2026 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 378.3 ක් දක්වා 5.6%කින් පහළ ගොස් තිබෙන අතර 2025 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 367.6 ක් ලෙසින් වාර්තා වී තිබුණු සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2026 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 352ක් දක්වා 4.2%කින් ඒ අනුව පහළ ගොස් ඇත.

    සමස්තයක් ලෙස 2025 ජනවාරි-පෙබරවාරි ඩොලර් මිලියන 768.2ක් වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2026 ජනවාරි-පෙබරවාරි කාලපරිචඡේදයේ දී ඩොලර් මිලියන 730.3ක් දක්වා 4.9%කින් අඩු වී තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සටහනක් පහතින් දැක්වේ.