ඉදිරි වසර 05 සදහා වන සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබඳ ජාතික උපදේශන වැඩමුළුවක්

    September, 10, 2025

    ශ්‍රී ලංකාවේ සංචාරක උපාය මාර්ගික සැලැස්ම (2026–2030) සකස් කිරීම සඳහා ජාතික උපදේශන වැඩමුළුව සාර්ථක ලෙස ආරම්භ වී ඇත. මෙම සංකේතාත්මක අවස්ථාව සදහා පළාත් 9 හා දිස්ත්‍රික්ක 25ක නියෝජිතයින් එකතුවිය.මෙම උපදේශන වැඩමුළුව තුලින් ශ්‍රී ලංකාවේ සංචාරක උපාය මාර්ගික සැලැස්ම සංචාරක කර්මාන්තයේ අනාගතයට සරිලන පරිදි හැඩගැස්වීමට බලාපොරොත්තු වේ.

    දැනට ක්‍රියාත්මකව ඇති සංචාරක උපාය මාර්ගික සැලැස්ම (2023–2025) මේ වසර අවසානයේ අවසන් වන බැවින්, ඉදිරි වසර පහ සදහා සැලැස්මක් සකස් කිරීම කාලෝචිත හා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සැලකේ. මෙම සැලැස්ම රජයේ සංවර්ධන අරමුණු, නව ජාතික සංචාරක ප්‍රතිපත්තිය සහ ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුකූලව සකස් කෙරෙනු ඇත. නව සැලැස්ම කර්මාන්තයේ පවතින අවශ්‍යතාවයන්ට සරිලන ලෙසත්, තිරසාරභාවය පිළිගනිමින් සංචාරක කර්මාන්තය ආර්ථික වර්ධනයත් තීරණය කරන ප්‍රමුඛ සාධකයක් බවට පත් වේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සහ සංචාරක අමාත්‍යාංශය, ප්‍රධාන උපදේශකතුමන් වන Dr. සමන්ත පතිරත්න මහතා සමග එක්ව ඉදිරි මාස 3 සිට 6 අතර කාලය තුළ උපාය මාර්ගික සැලැස්ම සකස් කරගැනීම අපේක්ෂා කරයි.මෙම සැලැස්ම සකස්කිරීමේදී මූලික මාර්ගෝපදේශ වශයෙන්, හෝටල්,  ගමනාන්ත නියෝජිතයින්(Destination Management Companies), සංචාරක මාර්ගෝපදේශකයින් (Tour Guides), සංචාරක ක්ෂේත්‍රයට අදාළ සංගම්, සංචාරක ක්ෂේත්‍රයට අදාළ ශාස්ත්‍රීය ආයතන (Academic Institutions) හා පළාත් සංචාරක පරිපාලකයින් (provincial Tourism Administrators) ඇතුළු පුළුල් පරාසයක හවුල්කරුවන්ගේ දැනුම යොදාගනී.

    අද දින පැවති මෙම සමාරම්භක වැඩමුලුව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් , විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මියගේ සහ රාජ්‍ය අංශයේ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ගෝල් ෆේස්  හෝටලයේදී පැවැත්විණි.

    රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය  කරමින් මේ සඳහා අනුග්‍රහක දායකත්වය  සපයනු ලබන්නේ (Visa Global) ආයතනය මගිනි.