නව ගිලන් රථ සේවාවේ මුල් අදියරෙන් රැකියා 600 ක් බිහි වෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

    February, 10, 2016

    ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 7.6 ක ආපසු නොගෙවන ප්‍රදානයකින් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ගිලන් රථ සේවාවේ මුල් අදියර මගින් රැකියා අවස්ථා 600 ක් මෙරට ජනතාවට ලබාදෙන බව මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ රැකියා සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන අතර පළමු අදියර සඳහා සේවකයින් බඳවා ගැනීම අද (10) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ සිංහ සමාජ ශාලාවේදී පැවැත්වුණි.

    මෙම ගිලන් රථ සේවාව ලංකාවේ ආරම්භ කිරීමේ සංකල්පය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ සිට මෙම ව්‍යාපෘතියට මුල් වූ කෙනෙකු ලෙස මෙම සංකල්පය යථාර්තයක් බවට පත්වීම පිළිබඳව තමා අතිශය සතුටු වන්නේ යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය විසින් මෙම ප්‍රදානය ලබාදී තිබෙන අතර මේ සඳහා සම්බන්ධ වී සිටින්නේ ඉන්දියාවේ GVK EMRI ආයතනයයි.

    එම අවස්ථාවට සහභාගී වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.

    “සමහරු කිව්වා මේකට ඉන්දියාවෙන් රියදුරන් ගේනවා කියල. අපි ඉන්දියාවේ කාටවත් මෙම වැඩසටහනෙන් රස්සාවල් දෙන්නෙ නෑ. සියළුම රැකියා ලැබෙන්නේ අපේ රටේ අයටයි.“

    මෙම ගිලන් රථ සේවාවේ පළමු අදියර සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ රිය අනතුරු වලින් සහ හෘදයාබාධ වලින් ලංකාවේ බොහෝ දෙනෙකු මිය යන්නේ ඔවුන්ට ලබාදිය යුතු වෛද්‍ය ප්‍රතිකාර ඉතාමත් ඉක්මනින්ම නොලැබීම නිසා බවයි.

    නොමිලේ ක්‍රියාත්මක වන මෙවැනි හදිසි ගිලන් රථ සේවාවක් මගින් එම ගැටලුවට පිළිතුරක් ලැබෙනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

    සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගන්නා පිරිස මාස 02 ක පුහුණුවක් සඳහා ඉන්දියාවට යවන බවද මහීපාල මහතා පැවසීය.

    මෙම අවස්ථාවට මහාචාර්ය අසිත ද සිල්වා මහතා, GVK EMRI ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී, සුන්දර් කුඩලියර් මහතාද සහභාගී විය.

    සේයාරූ සටහන - මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා සේවකයින් 600 ක් බඳවා ගන්නා බව මාධ්‍යයට දැනුම් දෙමින් (වමේ සිට GVK EMRI ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී, සුන්දර් කුඩලියර් මහතා/ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා/ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා)