August, 16, 2016
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඉන්දීය මෝටර් රථ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශේෂ කතිකාවතක් ගොඩනැගී තිබේ. මේ පිළිබඳ කතාබහක් ගොඩනැගුනේ නිසාන් සමාගම සිය ඉන්දීය කර්මාන්ත ශාලාව තුළ නිපදවන ඩට්සන් rady-GO මෝටර් රථය ලබන මස දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් එහි මිල ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 12 ක් පමණ වනු ඇති බවටත් ඉන්දියානු මාධ්‍ය වාර්තා විසින් මුල් වරට අනාවරණය කිරීමත් සමඟය. ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව තත්ත්වය එසේ වුවද, ඩට්සන් rady-GO මෝටර් රථය මෙරටට ගෙන්වන ශ්‍රී ලංකා නියෝජිත සමාගම කියා සිටියේ එම රථයේ මිල ලක්ෂ 21 ක් පමණ වනු ඇති බවයි.
ඉන්දියාවේ ඉතා අඩු මිලට වෙළෙඳපොළට නිකුත් වන මෙවැනි මෝටර් රථ විශේෂයෙන්ම ඉලක්කගත වී ඇත්තේ පහළ මධ්‍යම පාංතික ජනතාවගේ මෝටර් රථයක සිහිනය සැබෑ කිරීම වෙනුවෙනි. මෙලෙස මිල අඩු මෝටර් රථවල මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පහළ අවධානයක් යොමුව ඇත්තේ එය අඩු මිලක් යටතේ පාරිභෝගිකයා වෙත ලබා දීම මූලික අරමුණ වී ඇති බැවිනි.
මෙහිදී අප උත්සාහ ගන්නේ ශ්‍රී ලංකාව තුළ රුපියල් මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ට වැඩි වටිනාකමක් හිමිවන මෝටර් රථයක්, සැබැවින්ම ඉන්දියාවේ දී මිල කෙසේ වන්නේදැයි අනාවරණය කිරීමටය. මෙවැනි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී ආනයනික තීරුබදු, ගැල් හා පරිවහන වියදම්, ශ්‍රී ලංකාවේ නියෝජිත සමාගමේ ලාභය, විනිමය අනුපාත ගැළපීම් යනා දී කරුණු මත ඉහළ මිලක් ගෙවීමට සිදුව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.
Suzuki Alto 800

මෙහි ආරම්භක මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.49 කි. විවිධ උපාංග (Options) යටතේ ඉන්දියානු රුපියල් ලක්ෂ 3.76 දක්වා මෙහි මිල පවතිනු ඇත. සාමාන්‍යයෙන් මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20 ඉක්මවනු ලබයි.
Renault Kwid

ඉන්දියාවේ දී මෙවැනි මෝටර් රථයක් මිල දී ගන්නවා නම් ඒ සඳහා ගෙවන්නට වන මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.56 ත් 3.53 ක් අතර වේ. කෙසේ වෙතත් මෙවැනි මෝටර් රියක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 22 කට වඩා ගෙවිය යුතුය.
Tata Nano

මෙම මෝටර් රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 1.99 සිට ඉහළ මිල ගණන්වලට මිල දී ගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ දී මිල දී ගන්නවා නම් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 15 කට වැඩි මිලක් ගෙවීමට සිදුවනු ඇත.
Datsun Redi-GO

එළඹෙන සැප්තැම්ර් මාසයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත මෙම මෝටර් රථයේ ආරම්භක මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් පමණ වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දී මෙහි මිල රුපියල් ලක්ෂ 21 ඉක්මවනු ඇතැයි වාර්තා වේ.
Hyundai EON

ඉන්දියානු රුපියල් ලක්ෂ 3.29 සිට මිල ගණන්වලට Hyundai EON රථයක් ඉන්දියාවේ දී මිල දී ගැනීමට පුළුවන. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ දී මිල දී ගන්නවා නම් මෙම රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22 ඉක්මවනු ඇත.