ඉන්ධන සහ විදුලි බිල අඩුකළ රහස

    September, 17, 2014

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීමෙන් පසුව මෙගාවොට් 900 ක විදුලිය ධාරිතාවයක් එම බලාගාරයෙන් ලැබීමත්, ඌව පළාත් සභා මැතිවරණය සහ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනතාවගෙන් වැඩි කැමැත්තක් දිනා ගැනීමේ අරමුණත් ඇතිව රජය විසින් විදුලිය,පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් වහාම අඩුකිරීමට පියවර ගෙන තිබේ.

    මෙම අඩුකිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය කළ අතර මෙහිදී විදුලි බිල සියයට 25 කින්, පෙට්රල් ලීටරයක මිල රුපියල් 05 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩුකර ඇත.

    විශ්ලේෂකයින් පවසන ආකාරයට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර පැමිණීම නිසා ඉන්ධන මගින් ජනනය කරන විදුලිය අඩුකර ගැනීමට විදුලි බල මණ්ඩලයට හැකියාව ලැබී තිබේ. මේ නිසා, විදුලි බල මණ්ඩලයේ ජනන වියදම් අඩුවන අතර විදුලි බිල අඩුකිරීම සඳහා රජයට ඉන් අවස්ථාව ලැබී ඇත.

    2013 මැයි මාසයේදී රජය විසින් විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක්කළ අතර එය පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමේ බරක් විය. මෙය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එය ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩුවීමට බලපෑ ප්‍රබල සාධකයකි.

    මේ අනුව, විදුලි බිල සියයට 25 කින් අඩු කිරීම මගින් රජය අපේක්ෂා කරන්නේ ඌව පළාත් සභා මැතිවරණය සහ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ සිය ජනප්‍රියතාවය වැඩිකර ගැනීමටයි. ඒ ආකාරයෙන් විදුලිය බිල අඩුකිරීමේ හැකියාවද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය නිමවීම තුළින් රජයට ලැබී තිබීම කැපී පෙනේ.

    මේ වනවිට, ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන්ද පහළ ගොස් තිබේ. ලංකාව විසින් එයට සාපේක්ෂව ඉන්ධන මිල පසුගිය කාලයේදී අඩු නොකළ අතර මෙරටට ගෙන්වන ඉන්ධන සඳහා විශාල බදු අය කරමින් ඉන්ධන වැඩි මිලට විකුණන බවට චෝදනාවන්ටද ලක්ව ඇත.