“ඉවත ලන බැරල් කසළ බඳුන්” ලෙස සකසා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සහ ක්ලීන් ශ්‍රී ලංකා එක්ව ක්‍රියාවට නංවයි

    June, 6, 2025

    ඊයේ දිනට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය ඊයේ (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

    දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන් සකසා තිබෙන අතර පළමු අදියර යටතේ සකසන ලද බැරල් 150 ක් බෙදා දීමට සිපෙට්කෝ ආයතනය සැලසුම් කර ඇත. අවශ්‍ය පරිදි කසළ සහ පොලිතීන් බාහලිය හැකි බැරල් ඉදිරියේදී ලබා දීමට එම ආයතනය එකඟතාව පළ කර තිබේ.

    ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉසුරු අනුරාධ මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ හා සිපෙට්කෝ ආයතනයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්ව ජගත් පරිසර දිනය නිමිත්තෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ පැළ සිටුවීමේ වැඩසටහනක් ඊයේ (05) ක්‍රියාවට නංවා තිබිණි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. රාජකරුණා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.