July, 17, 2024
ඉඩම් සහ නිවාස වංචනික ලෙස විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අගතියට පත් නොවන ක්‍රමවේදයක් ක්‍රියාවට නගන්න - කෝපා සභාපති
බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකු වලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිළදී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපාන බැවින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි. මෙහිදී නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමඟද සාකච්ඡා කොට පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දෙන ලදී.
ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන පුර්ව ලිඛිත අනුමතියක් සහ ඉඩමේ අයිතිය වෙන්දේසිකරු විසින් තහවුරු කිරීමකින් තොරව ඉඩම් විකිණීම හෝ ඊට අදාළ දැන්වීම් පළ කිරීම සම්බන්ධව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ පිළිබඳ පුර්ණ වාර්තාවක් අගෝස්තු මස වන විට කමිටුවට ලබා දෙන ලෙසද පැමිණ සිටි නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් දෙනු ලැබිණි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් පෙර පැවති කමිටු රැස්වීමේදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙනු ලැබූ නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ඉඩම් කට්ටි කර විකිණීමේදී පොදු කටයුතු සඳහා වෙන් කර ඇති ඇති ඉඩම් පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබා දීම සඳහා කමිටුව විසින් පළාත් පාලන ආයතන වෙත නිර්දේශ ලබා දී තිබුණද ඊට අදාළ ප්‍රගතිය පිළිබඳ වාර්තා විගණකාධිපති වෙත තවමත් ලැබී නොමැති බවත් එහි ප්‍රගතිය පිළිබඳවත් කාරක සභාව විමසා සිටින ලදී.