April, 8, 2025
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වන කාර්තුව අවසානයේදී ආයෝජකයින්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවරයන් වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාල රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
උතුරු පලාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්යෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උතුරු පලාතේ ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හේරත් මහතා මෙසේ ඉල්ලා සිටියේය.
උතුරු පලාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නව ආයෝජන කලාප ආරම්භ කිරීමේ කාර්යයේදී ඊට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ආයෝජනය කිරීමට අපේක්ෂිත ආයෝජකයින් හා උතුරු පලාතේ වානිජ මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, නව ආයෝජන කලාප තුලින් සෘජු රැකියා 16 000ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වක්‍ර රැකියා 50 000ක් පමණ අපේක්ෂා කෙරේ. පරිසර හිතකාමී හරිත ආයෝජන කලාප ලෙස වඩාත් පරිසරය හා බැදුනු, පරිසර දූෂණය අවම ආයෝජන කලාප ලෙස මෙම ආයෝජන කලාප හදුන්වා දීමට පියවර ගන්නා බව පැවසීය.
කන්කසන්තුරේ අතහැර දමා ඇති පැරණි සිමෙන්ති කම්හල් භූමියත්,පරන්තන් හි අතහැර දමා ඇති රසායන නිෂ්පාදන කම්හල් භූමියත් නව ආයෝජන කලාපවලට අයත්ය. වසර ගණනාවක් අවධානයට ලක්නොවූ මෙම ප්‍රදේශ රටේ ආර්ථික සංවර්ධන දායක කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.
කන්කසන්තුරේ ආයෝජන කලාපය පිවිසුම් මාර්ග තුනක් සහිතව (ගුවන්, නාවික හා දුම්රිය) සංවර්ධනය කළ හැකි බවත් , මේ ආයෝජන ආකර්ෂණයට හේතු වන බවත් මෙහිදී සඳහන් විය.
නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී උතුරු ප්‍රදේශයේ තරුණ ශ්‍රමබලකායේ හැකියාව හා දැනුම පිළිබඳව අවධානය යොමු කෙරේ. විශේෂයෙන් කන්කසන්තුරේ ඉදි වන මහපරිමානයේ කර්මාන්ත වෙනුවෙන් ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම පරන්තන් ආයෝජන කලාපයේදී රසායන විද්‍යාඥයන්ට ද නව අවස්ථා හිමි වේ. මාන්කුලම් ආයෝජන කලාපය කෘෂි හා සත්ත්ව නිෂ්පාදන සඳහා අගය එකතු කළ නිෂ්පාදන අපනයන කලාපයක් ලෙස සංවර්ධනය කරන බවත්, මෙම ප්‍රදේශයේ තරුණ පිරිස් හට නවීන තාක්ෂණය හා මුසු වූ සුහුරු කෘෂිකර්මාන්තතයට එක් වීමට අවස්ථාව ලැබෙනු ඇත.
Video Story