උද්ධමනය අඩු වුණාට දැනෙන්නේ නැත්තේ ඇයි? – මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

    January, 29, 2025

    මේ වන විට මෙරට උද්ධමනය සෘණ මට්ටමකට පත්ව තිබිය දී එහි ප්‍රතිලාභ ජනතාව වෙත නිසි පරිදි සම්ප්‍රේෂණය වීමක් සිදුනොවන්නේ මන්දැයි යනුවෙන් ‘අද දෙරණ‘ අද (29) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මිල මට්ටම්වල ඉහළ යාමක් සිදු වුවද ඊට සාපේක්ෂව ආදායම් මට්ටම් ඉහළ නොයාම හේතුවෙන් ඇතැමුන් මෙසේ පවසන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා මහ බැංතු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “උද්ධමනය සියයට 70ට වැඩි වුණා කියන්නේ මිල මට්ටම කොහොමත් වැඩිවෙලා තියෙන්නේ. වැඩි වුණු මිල මට්ටම යම්කිසි ආකාරයකින් ස්ථාවරය තියෙනවා කියන එක තමයි උද්ධමනය ස්ථාවරයි කියලා කියන්නේ. මිල මට්ටම අඩු වෙන්නේ නැහැ. ඒ සංකල්පය හරි, මිල මට්ටම් වැඩි වුණාට, හැමෝගේම ආදායම් ඒ මට්ටමට වැඩිවෙලා නැහැනේ. ඒක ක්‍රමානුකූලව රටක ආර්ථික වර්ධනයත් එක්කම වෙන දෙයක්. යම්කිසි කාලයක් යනවා උද්ධමනයට සරිලන ආදායමක් හැමෝටම ඒ මට්ටමට එන්න. ඒක එක සැරේ වෙන්නේ නැහැ. එතකොට තමයි සමහර කොටස් කියන්නේ තාමත් මේ උද්ධමනය අඩු වුණාට දැනෙන්නේ නැහැ කියලා“.