January, 4, 2016
පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio - SRR) 7.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ. මෙතෙක් 6% ක්ව පැවත් මෙම අගය 2016 ජනවාරි 16 දින ආරම්භ වන සංචිත කාලපරිච්ඡේදයේ සිට මෙලෙස 7.5% දක්වා ඉහළ නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි 2015 ඔක්තෝබර් මාසයේ දී පුළුල් මුදල් සැපයුම 16% සිට 17% දක්වා වැඩි වී තිබේ. මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබාදුන් ණය වර්ධනය හේතු වී තිබේ. මෙහිදී පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ 22.2% ක වර්ධනය හා සාපේක්ෂව 26.3% කින් වර්ධනය වී තිබේ. එසේම 2015 නොවැම්බර් මාසය තුළ දීද, මෙතෙක් වාර්තා වී ඇති තාවකාලික දත්ත අනුව පෞද්ගලික අංශය වෙත ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
පසුගිය දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“මුදල් වෙළෙඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. මෙලෙස දීර්ඝ කාලයක් පුරාවට දේශීය වෙළෙඳපොළේ දැනට පවතින අතිරික්ත මුදල් ද්‍රවශීලතාව පැවතුණහොත් එය අධික මුදල් ප්‍රසාරණයකට හේතුවිය හැකියි. එමගින් ඉදිරි කාලයේ දී ආර්ථිකයේ උද්ධමන පීඩන ඇතිවීමට පුළුවන්. මේ හේතුවෙන් ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන ඉහළ යෑම සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවන්න තීරණය කර තිබෙනවා“.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate - SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate - SLFR) තවදුරටත් පිළිවෙලින් 6% සහ 7.5% මට්ටම්වල පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම අනුව 2015 ඔක්තෝබර් මාසයේ දී 3% ක් ලෙසින් වාර්තා වන අතර එය නොවැම්බර් මාසයේ දී 4.8% දක්වා වැඩි වී තිබේ.
Video Story