උද්ධමන ඉලක්ක එහා මෙහා වීම ගැන මහ බැංකුවෙන් වාර්තාවක්

    January, 24, 2025

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කය, එම ගිවිසුමෙහි දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් වාර්තාවක් ගරු මුදල් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම වාර්තාව මහජනතාවටද ලබා ගත හැකි විය යුතුය. 2023 ඔක්තෝබර් මස 03 වැනි දින ගරු මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, උද්ධමන ඉලක්කය සියයට 5ක් වන අතර මහ බැංකු පනතේ 26(5) වගන්තිය සඳහා අදාළවන ආන්තිකය ප්‍රතිශතාංක ±2 ලෙස සඳහන් කරයි.
    2024 වසරේ දෙවන හා තුන්වන කාර්තුවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ සාමාන්‍යය පිළිවෙලින් සියයට 1.4 සහ සියයට 0.8 ලෙස වාර්තා විය. ඒ අනුව, කාර්තුමය මතුපිට උද්ධමනය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති ආන්තිකයට පහළින් පැවති බැවින්, මහ බැංකු පනතේ 26(5) වගන්තිය යටතේ අවශ්‍යවන වාර්තාව ගරු මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනෙවිය විසින් 2025 ජනවාරි 10 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025 ජනවාරි 23 වැනි දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
    මෙම වාර්තාව දැන් මහ බැංකු වෙබ් අඩවිය හරහා මහජනතාවටද ලබා ගත හැකිය.