උදේ ඇද වැටුණු කොටස් වෙළෙඳපොළ සවස යළි පණ ගසයි

    November, 4, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් අද දිනය ආරම්භයේ දී සෘණාත්මක ස්වභාවයක් වාර්තා කළද, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 3.16 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,003.57 ක් ලෙසින් දැක්වුණු අතර එය 0.05% ක වර්ධනයකි. කෙසේ වෙතත් S&P SL20 මිල දර්ශකය, පෙර දිනයට සාපේක්ෂව ඒකක 2.13 ක් හෙවත් 0.06% ක පහළ යාමක් වාර්තා කරමින් ඒකක 3,784.61 ක් ලෙසින් සටහන් විය.

    දෛනික වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 548 කි. එහිදී කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 87 ක්, ඇක්සෙස් ඉංජිනියරින්ග් රු. මිලියන 46 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 42 ක් හා යූනියන් බැංකුව රු. මිලියන 29 ක් යනා දී ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී තිබේ.

    දිනය මැද භාගයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,984.53 ක් තරම් පහළ අගයයකට වැටුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාවෙන් මෙපිටට පැමිණියේ පසුගිය ජූලි 13 වනදායින් පසුවය. කෙසේවෙතත් දිනය අවසන් භාගයේ දී යළිත් වරක් සමාගම් රැසකම කොටස් මිල ගණන් ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබුණි.

    සුපුරුදු පරිදි අද දිනයේ දීද විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කළ අතර දිනය අවසානයේ දී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 104.4 ක් සහ විදේශීය විකිණීම් රුපියල් මිලියන 168.3 ක් ලෙසින් වාර්තා විය.දිනය තුළ සිදුවූ සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 4,825 ක්වූ අතර එහිදී සිදුවූ විදෙස් ගනුදෙනු සංඛ්‍යාව 272 කි.