එක්සත් ජනපදය විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි

    April, 4, 2025

    ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත කරනු ලබන අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වටිනා භාණ්ඩ ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය අතර එය ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ අපනයනයන්ගෙන් 25% ක අගයක් ගනී. එබැවින්, මෙම නව තීරු බදු ක්‍රමය ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආර්ථික ස්ථාවරත්වයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරනු ලබයි. ඊට අමතරව, පුළුල් ගෝලීය වෙළඳ බාධාවන් ආර්ථික වර්ධනය මන්දගාමී කළ හැකි අතර, එය ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වැනි ප්‍රධාන අපනයන වෙළඳපොළවල සමස්ත ඉල්ලුමට බලපායි.

    ඇමරිකානු තීරුබදු වල බලපෑම තක්සේරු කිරීම සදහා සහ එමගින් අපගේ අපනයන අංශයට ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා විසඳුම් ලබා දීමට කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අපගේ ස්තුතිය පිරිනැමේ. මේ වනවිට ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි අඩක් පමණ සාර්ථකව අවසන් කර ඇති බැවින් සහ, ඉතා දැඩි රාජ්‍ය මූල්‍ය පාලනයක සිටින බැවින්, ශ්‍රී ලංකාව වෙත පනවා ඇති ඉහළ තීරුබදු අගය අඩුකරගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා රජයට තම තීරුබදු ව්‍යුහය නැවත සලකා බලා වෙළඳ පහසුකම් වැඩිදියුණු කරන සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරන පියවර ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවකි.

    මෙම තීරුබදු වල විභව ආර්ථික බලපෑම අවම කිරීම සඳහා සම්බන්ධීකරණ සහ උපායමාර්ගික ප්‍රතිචාරයක් සැලසුම් කිරීම සඳහා රජය සමඟ සමීපව කටයුතු කිරීමට ලංකා වාණිජ මණ්ඩලය කැපවී සිටී. ශ්‍රී ලංකාවේ වෙළඳ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, අපනයන අංශය තිරසාරව පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික සහ ප්‍රතිපත්ති මත පදනම් වූ විසඳුම් සක්‍රීයව අනුගමනය කරන ලෙසත් අපි සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.