එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ EU-SDDP සහයෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කයට මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයක්

    December, 9, 2015

    මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඉදිකිරීමට නියමිත කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලට අදාළව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා Finite Lanka (ෆිනයිට් ලංකා) ඉදිකිරීම් සමාගම පසුගියදා ගිවිසුමකට එළඹුණහ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යුරෝපා සංගමය සහය දෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් ලබාදෙන අරමුදල් දායකත්වයෙන් මඩකලපුව ධර්මපුරම් ප‍්‍රදේශයේදී මෙම කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 142 ක වියදමක් වැයවනු ඇති බව අපේක්ෂිතය. කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයට අදාළ ගිවිසුමට අත්සන් කිරීම පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) කොළඹ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

    ධීවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්‍යය සම්පතින් තිරසාර දකුණු ආසියානු කලාපයේ ප‍්‍රමුඛ රටක් බවට පත්වීම මෙරට රජයේ දැක්ම වී ඇති අතර මේ අරමුණ ළඟාකරගැනීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් දස වසරක සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කර ඇත. මෙම සැලැස්ම මගින් මෙරට ජලජීවී වගා ක්ෂේත‍්‍රය දියුණු කිරීමට ප‍්‍රමුඛස්ථානය ලබාදී ඇත. යුරෝපා සංගමය (EU), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා මෙරට රජය අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබැඳියාවේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් දැඩි අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙන මෙරට ජලජීවී වගා ක්ෂේත‍්‍රය තවදුරටත් දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

    "ජලජීවී වගාව ව්‍යාප්ත කිරීමට සුදුසු බොහෝ ප‍්‍රදේශ උතුරු හා නැගෙනහිර කලාපයේ බහුලව ව්‍යාප්ත වී ඇති නැගෙනහිර ප‍්‍රදේශයේ ජනතාව හා විවිධ ආයතන ජලජීවී වගාවේ නිරත වීමට සිය කැමැත්ත ද පළකර සිටියි. මෙමගින් උතුරු හා නැගෙනහිර කලාපයේ ජන ජීවිත යථා තත්ත්වයට පත්වී තිබෙන බව මනාව පිළිබිඹු කෙරෙයි. වෙරළාශ‍්‍රිතව ජීවත්වන ප‍්‍රජාවට මෙම අභිජනන මධ්‍යස්ථානය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇති බව අප අදහස වී ඇත. එමෙන්ම" මෙය ඉහළ ආදායමක් ලබාගැනීමට හා ධීවර ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට ද රුකුලක් වන බව නියතය." මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමට එක්වූ යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා වැඩසටහන් ප‍්‍රධානී ලිබුසේ සුකුපෝවා මෙනවිය පැවසුවාය.

    ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝග්‍ය හෙක්ටයාර දෙකක භූමියක් ධර්මපුරම් ප‍්‍රදේශයෙන් වෙන්කරගෙන ඇත. කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමට සුදුසු ඉඩමක් තෝරාගැනීමේදී සැලකිලිමත් වන ප‍්‍රධාන කරුණු කිහිපයක් ඇත. මත්ස්‍යය වගාවට සුදුසු ගුණාත්මක ජලය අඛණ්ඩව සපයාගැනීමට පවතින හැකියාව, ප‍්‍රදේශය අවට සිටින ධීවර පවුල් මෙම ව්‍යාපෘතියට සක‍්‍රියව දායකවීමට දක්වන කැමැත්ත ආදිය ඒ අතරින් විශේෂ වෙයි.

    මෙම කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එහි කටයුතු මෙහෙයවීමට නියමිතය. අග්නිදිග ආසියානු කලාපයේ බොහෝ රටවල කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථාන පවතින අතර මෙමගින් විශේෂ මත්ස්‍ය ප‍්‍රභේද අභිජනනය කිරීම සිදුකරනු ලබයි. මේ අතර මෝදා" කොස්සා" වේක්කයා වැනි මසුන් ප‍්‍රධාන ස්ථානයක් ගනියි. මෙම මත්ස්‍යය පැටවුන් ලබාගැනීමේ හැකියාව මත එම රටවල් කරදිය ජලජීවී වගා ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයට ළංවී ඇත. එහෙත්" ශ‍්‍රී ලංකාව තුළ මෙම මත්ස්‍යය පැටවුන් ලබාගැනීමට ඇති අපහසුතාවය මත මෙම කර්මාන්තය පසුබෑමට ලක්ව ඇත. එහෙයින්" ගුණාත්මක මත්ස්‍යය නිෂ්පාදනයක් දේශීය හා විදේශීය වෙළඳපල වෙත ලබාදීමට ද අපහසු වී ඇත.

    එම ගැටළුවට පිළියමක් ලෙස මසුන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් අභිජනනය කර බීජ නිෂ්පාදනයට අවශ්‍ය දියුණු තාක්ෂණික පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ දී අවධානයට ලක්කිරීමට නියමිතය. ස්වයං රැකියාවක් ලෙස මත්ස්‍යය වගාවේ නිරතවන පිරිස් වෙත ගුණාත්මක මත්ස්‍යය පැටවුන් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. ධර්මපුරම් මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසු වසරකට අභිජනන චක‍්‍ර පහක් තුළ මත්ස්‍යය ඇසින්නන් (Fry) මිලියන 5 ක් හෝ ඇඟිල්ලන් (Fingering) මිලියන 4 ක් අභිජනනය කිරීමට බලාපොරොත්තු වී ඇත.

    එමෙන්ම නව වෙළඳපල අවස්ථා හඳුනාගනිමින් දේශීය මෙන්ම විදේශීය ඉල්ලූමට සරිලන අන්දමේ මත්ස්‍යය විශේෂ අභිජනනය කර පැටවු නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. මෙම මත්ස්‍යය පැටවුන් වගාකිරීමෙන් ලැබෙන අස්වැන්න යුරෝපා සංගමයට අයත් රටවල්, ඇමරිකාව සහ අග්නිදිග ආසියානු කලාපීය රටවල් වෙත අපනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. තවද මෙරට සාමාන්‍ය වෙළඳපලට මෙන්ම විශේෂයෙන් සංචාරක හෝටල්, ආපනශාලා වෙත ද මෙම මත්ස්‍යය නිෂ්පාදන ලබාදීමට හැකිවනු ඇත.

    මෙම මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය ධර්මපුරම් ප‍්‍රදේශයේ ඉදිකිරීමෙන් පසුව අභිජනනය කරන මත්ස්‍යය පැටවුන් මෙරට ආශ‍්‍රිතව ඇති කරදිය මත්ස්‍යය පොකුණු, කූඩු හා කොටු තුළ වගාකළ හැක. එමගින් දැනට උඩවලව, දඹුල්ල, ඉඟිනියාගල හා ඉරණමඩු යන මිරිදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථාන වලින් නිපදවන ජලජීවී වගා නිෂ්පාදන හැකියාව සියයට 5 ක ප‍්‍රමාණයකින් ඉහළ නැංවිය හැකිබව ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) අපේක්ෂා කරනු ලබයි. මෙම මත්ස්‍යය නිෂ්පාදන අපනයනයෙන් විදේශ විනිමය උපයාගැනීමට හැකි වීමද විශේෂය.

    "මෙම ආයෝජනය මගින් මඩකලපුව ප‍්‍රදේශයේ කරදිය මත්ස්‍යය වෙළඳපලෙහි ඉහළයාමක් සිදුවනු ඇත. එමෙන්ම ප‍්‍රදේශයේ මත්ස්‍යය වගාකරුවන්ගේ ආදායමේ වර්ධනයට ද මෙම මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානය මහත් රුකුලක් වනු ඇත. රට තුළ පවතින ප්‍රෝටීන් ඉල්ලූම ද මෙමගින් සපුරාගැනීමට ද හැකිවනු ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) අතර දීර්ඝ කාලීන මෙන්ම ස්ථිරසාර සම්බන්ධතාවක් පවතියි. මේ දෙපාර්ශ්වය අතර පවතින ශක්තිමත් සහයෝගයෙන් යුතුව ඉහළ ගුණාත්මක බවින් යුතු මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හැකිවනු ඇති බව සහතිකයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ යුරෝපා සංගමය සහයදෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) ප‍්‍රධාන තාක්ෂණික නිළධාරි ගුසෙපි බ්‍රොන්සෝනි මහතා පැවසුවේය.

    මෙම ක‍්‍රියාකාරකම් සිදුකිරීම සඳහා යුරෝපා සංගමය සහයදෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් මූල්‍ය සහය ලබාදෙන අතර යුරෝ මිලියන 60 මුදලක් මෙම වැඩසටහන සඳහා වැයකරයි. මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදිවූ සහ මායිම් වූ දිස්ත‍්‍රික්ක හතක් ආවරණය වන පරිදි ඒවායේ ආර්ථික සමාජ සංවර්ධනය ඇතිකිරීමට මෙරට රජයට සහයවීම මෙම වැඩසටහනේ අරමුණයි. යුරෝපා සංගමය සහයදෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් ඉදිරිපත් කළ වැඩසටහන් සැලැස්මට අනුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන මෙරට ග‍්‍රාමීය ප‍්‍රජාවේ ආදායම් තත්ත්වය නංවාලීමට විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. කෘෂිකර්මාන්ත" පශූ සම්පත් හා ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා දියත් කරන වැඩසටහන් ඒ අතරට ඇතුළත්ය. යුරෝපා සංගමය සහයදෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් සිදුකරන ඇළවේලි, වැව් ඇතුළු වාරිමාර්ග පිළිසකර කිරීම, අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම, රාජ්‍ය ආයතන සවිබල ගැන්වීම වැනි කටයුතු මගින් ගොවීන් මෙන්ම ස්වයං රැකියා වල නිරතවන කණ්ඩායම් ආදීන්ගේ ද ජීවන තත්ත්වයේ ගුණාත්මක බව නංවාලීම සිදුවෙයි.

    FAO සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත බෙත් ක්‍රෝෆෝඩ් මහත්මිය හා Finite Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ජී. එම්. බෝගහවත්ත මහතා තාම්පුරම් හි ඉදිකිරීමට නියමිත මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයට අදාළ ගිවිසුම් අත්සන් කරමින්, ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ජලජීවී ඉංජිනේරු තිස්ස විතානගේ මහතා ද පසෙකින් සිටියි