October, 25, 2024
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), නෝර්වේ රජයේ අරමුදල් ඇතිව, උසස් සිසිලන තාක්ෂණය සහිත සහ ඉන්ධන ඉතිරි කරන බල්බාකාර ඇණියකින් සමන්විත බහුදින ධීවර යාත්‍රාවක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා ආදර්ශවත් ඉදිරි පියවරක් තබා ඇත.. මෙම මුලපිරීම මගින් පසු අස්වනු හානි අවම කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සහ දේශීය සහ අපනයන වෙළෙඳපොළ වෙත සපයනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණයන් අනුගමනය කිරීම ප්‍රවර්ධනය කරනු ලැබේ.
උසස් සිසිලන පද්ධති හරහා ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම
ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහාත්, විශේෂයෙන්ම කෙළවල්ලා මත්ස්‍ය අපනයන කාර්මාන්තය සඳහාත්, අත්‍යවශ්‍ය වන බහුදින ධීවර යාත්‍රා විසින් දීර්ඝ මුහුදු ගමන්වලදී මත්ස්‍ය අස්වැන්න කල් තබා ගැනීම සඳහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ අයිස්ය. කෙසේ වෙතත්, අයිස් භාවිතය මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවයට හානිකර වන අතර, පසු අස්වනු හානිවලට හේතු වේ. FAO විසින් 2022-2023 දී සිදු කරන ලද මත්ස්‍ය අලාභය සහ අපද්‍රව්‍ය (FLW) තක්සේරුවේදී ශ්‍රී ලංකාවේ බහුදින ධීවර කර්මාන්තයෙන් අල්ලා ගන්නා ලද මසුන් ඇල්ලීමේදී සාමාන්‍ය තත්ත්ව පාඩු 41.4% ක් විය.
මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අලුතින් නිෂ්පාදනය කරන ලද බහුදින ධීවර යාත්‍රාවක FAO විසින් උසස් සිසිලන පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ගමන පුරාවට මත්ස්‍ය අස්වැන්න ප්රශස්ත උෂ්ණත්වයක තබා ගැනීම එමගින් සහතික කෙරේ. මෙම තාක්ෂණය ධීවර කටයුතුවල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන අතර, නරක් වීම හා නාස්තිය අවම කරමින් උසස් තත්ත්වයේ මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම සහතික කරයි.
ඉන්ධන පිරිමසන බල්බාකාර ඇණි තාක්ෂණය සමඟින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම
ශ්‍රී ලංකාවේ ධීවර අංශය සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා වැදගත් වේ. බහුදින යාත්‍රා එක් ගමනකට ඩීසල් ලීටර් 8,000ත් 11,000ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන බැවින්, මෙහෙයුම්කරුවන්ට එක් ගමනක් සඳහා රුපියල් මිලියන 3 සිට 4 දක්වා මුදලක් වැය වේ. මෙම වියදම අඩු කිරීම සඳහා, FAO විසින් යාත්‍රාවලට බල්බාකාර ඇණි සවි කිරීම සඳහා තාක්ෂණික විශේෂඥතාව ලබා දෙන ලදී. මෙම නවෝත්පාදනය මගින් තරංග ප්‍රතිරෝධය අවම කරමින් 13%කින් ඉන්ධන පරිභෝජනය අඩු කරයි.
මෙම නවෝත්පාදනය මගින් සිසිලන පද්ධතිය සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන ඉතිරි කර දෙමින් බෝට්ටු හිමියන්ට දිගු කාලීන ආර්ථික ප්රතිලාභ ලබා දෙයි. රුපියල් මිලියන 1ක් පමණ වූ බල්බාකාර ඇණිය සවිකිරීමේ වියදම FAOහි තාක්ෂණික සහාය ඇතිව බෝට්ටු හිමිකරු විසින් දරන ලදී. මෙමගින් තිරසාර භාවිතයන් අනුගමනය කිරීමේදී පුද්ගලික අංශයේ කාර්යභාරය ඉස්මතු කර දැක්වේ.
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තත්ත්ව ඇගයීම් මෙවලම් සමඟ ධීවරයින් සවිබල ගැන්වීම
ධීවරයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ තම මත්ස්‍ය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමයි. අතරමැදියන් බොහෝ විට ගුණාත්මකභාවය සම්බන්ධ දැනුම අඩුකම වංචනික ගනුදෙනු සඳහා භාවිතා කරන අතර එමගින් ධීවරයින්ගේ ලාභ අඩු වේ. මෙයට පිළියමක් ලෙස, Yellowfin Tuna අපනයන ප්රමිතීන් මත පදනම්ව තත්‍ය කාලීනව මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය තක්සේරු කිරීමට හැකි වන පරිදි, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන ජංගම යෙදුමක් FAO විසින් සංවර්ධනය කරන ලදී.
මෙම ඇප් එක විසින් එයට ලබාදෙන සරල ඡායාරූපයක් ඔස්සේ ක්ෂණිකව ගුණාත්මකභාවය පිළිබඳ තක්සේරුවක් ලබාදෙයි. එමගින් ධීවරයින්ට වඩා හොඳ මිල ගණන් වෙනුවෙන් කේවල් කිරීම සඳහා බලය ලබා දෙයි. මෙම මෙවලම ඔස්සේ වඩාත් සාධාරණ වෙළඳපොළ ප්‍රවේශයක් සහ සාධාරණ මිලක් සහතික කිරීම මගින් ධීවර ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරනු ලැබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති මෙම තාක්ෂණික මුලපිරීම් වනාහි තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා වන FAOහි පුළුල් කැපවීමේ කොටසකි. නවීන සිසිලන පද්ධති, ඉන්ධන-කාර්යක්ෂම තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ මෙවලම් ඒකාබද්ධ කිරීම මගින්, ධීවර අංශයේ ආර්ථික හා පාරිසරික තිරසාරත්වය සඳහා සහාය වන පරිවර්තනයක් සඳහා FAO දායක වෙයි.
Video Story