එනවා කියපු වොක්ස්වැගන් කෝ..

    December, 16, 2015

    ඩීසල් වාහනවල දුම් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් නිසා පසුගිය කාලයේ දී වොක්ස්වැගන් ආයතනය විශාල වශයෙන් පරිපාලනමය ගැටළුවලට මුහුණ පෑ බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ කටයුතු ද මේ වන විට ප්‍රමාද වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවක දීය.

    “ලෝකයේ දියුණුම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්ව තිබුණේ වොක්ස්වැගන් ආයතනය. නමුත් අද වන විට ටොයෝටා ආයතනය, වොක්ස්වැගන් අභිබවා ගොස් තිබෙනවා. වොක්ස්වැගන් හි ඇති වූ අර්බුදය නිසා සමාගම 30% ක පමණ පසුබෑමකට ලක්වෙලා. එම ගැටළුවල බලපෑම නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවේ වැඩ කටයුතු ආරම්භ වීම ද ප්‍රමාද වී තිබෙනවා“, යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    කෙසේ වෙතත් පසුගියදා තමන් කොරියාවේ සංචාරය කළ අතරවාරයේ දී කියා සහ හුන්ඩායි සමාගම්වලට මෙරට කර්මාන්ත ආරම්භ කරන ලෙස ආරාධනය කළ බවත් සාම්පූර් හි බැර කර්මාන්ත කලාපයක් (Heavy industry zone) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කොරියාවෙන් මේ වන විට යෝජනා ලැබී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, එම යෝජනා තුළ තහඩු නිෂ්පාදන, වාහන නිෂ්පාදන සහ රැකියා 40,000 ක් පමණ බිහිකළ හැකි බලශක්ති ව්‍යාපෘතියක් තිබෙන බව කියා සිටියේය.