එන්ට්‍රස්ට් කොටස්කරුවන්ගේ වත්කම් ‘ගල්‘ වෙයි

    September, 1, 2016

    අර්බුදයට පත්ව සිටින මෙරට ප්‍රාථමික වෙළෙඳ සමාගමක් වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස්කරුවන්ගේ ඇතැම් වත්කම් ඇවිරීමට (freezes) කටයුතු කර තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    සිය ගනුදෙනුකරුවන් විසින් ආයෝජිත රාජ්‍ය සුරැකුම්පත් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව විකුණා දමා එම අරමුදල් අවභාවිත කොට ඇති බවට එන්ට්‍රස්ට් සිකිටයුරිටීස් වෙත චෝදනා එල්ල වී ඇත. මේ හේතුවෙන් එහි කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පවරන ලදී.

    ලංකා විදුලිබල මණ්ඩලය හා තවත් රාජ්‍ය ආයතන කිහිපයකම අරමුදල් අවභාවිත කළ බවට එන්ට්‍රස්ට් සිකියුරිටීස් වෙත චෝදනා එල්ල වී ඇත.

    මේ සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.