එමිරේට්ස් සමූහය ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි

    May, 23, 2018

    එමිරේට්ස් සමූහය විසින් 2018 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 4.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව තිබෙන අතර මෙය පසුගිය මුදල් වසරට සාපේක්ෂව 67% ක වර්ධනයකි. මෙම මුදල් වසරේදී සමූහයේ ආදායම පසුගිය මුදල් වසරට සාපේක්ෂව 8% කින් ඩිරාම් බිලියන 102.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 27.9 ක්) දක්වා වර්ධනය වී තිබෙන අතර සමූහයේ මුදල් ශේෂය 33% කින් වර්ධනය වී ඩිරාම් බිලියන 25.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක්) වී තිබේ. මෙම වර්ධනය සඳහා පසුගිය මාර්තු මාසයේදී සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම සහ මාර්තු මාසය අවසානයේදී තිබූ නිවාඩු සමයේ ලැබූ ඉහළ අලෙවි ආදායම හේතුවී තිබේ.

    මෙම සමස්ත ලාභය අනුව යමින් සමූහය විසින් ඩුබායි හි, ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් වෙත ඩිරාම් බිලියන 2.0 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 545 ක්) ලාභාංශ ලෙස ගෙවා ඇත.

    මෙම ගිණුම් වාර්තා පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. ‘2017-18 කාලයේදී ව්‍යාපාරික වාතාවරණය දියුණු වුවත් එය අසීරු තත්ත්වයක පැවතුනා. දේශපාලන අස්ථාවරත්වය, මුදල් ඒකක උච්චාවචනය වීම් වගේම අප‍්‍රිකාවේ මුදල් අවප‍්‍රමාණය වීම අපි මේ කාලයේ අත්වින්දා. ඒ වගේම, තෙල් මිල ඉහළයාම නිසා අපගේ පිරිවැය වැඩිවූ අතර දැඩි තරගකාරීත්වය හමුවේ මෙය අපගේ ලාභ වලට අහිතකර ලෙස බලපෑවා. ධනාත්මක පැත්ත වුණේ ගෝලීය ගුවන් භාණ්ඩ කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත යථාතත්ත්වයට පත්වීමයි. ඒ වගේම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ප‍්‍රධාන මුදල් ඒකක ශක්තිමත් වීමද ධනාත්මක තත්ත්වයක්.’

    සමූහය විසින් 2017-18 මූල්‍ය වසරේදී අළුතෙන් ගුවන් යානා සහ උපකරණ ගැනීම, සමාගම් මිලදී ගැනීම, නවීන පහසුකම් ගොඩනැගීම, නවීන තාක්ෂණයන් හඳුන්වා දීමට සහ කාර්ය මණ්ඩලයේ වැඩසටහන් සඳහා ඩිරාම් බිලියන 9.0 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක්) ආයෝජනය කර තිබේ.

    මෙම මුදල් වසරේදී එමිරේට්ස් විසින් නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා කැපී පෙනෙන ගිවිසුම් දෙකකට එළඹුණු අතර මින් එකක් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් වියදම් කරන බොයින්ග් 787-10 ගුවන් යානා 40 ක් මිලදීගැනීමේ ගිවිසුමයි. මෙම ගුවන් යානා 2022 වසරේ සිට සමූහය වෙත ලැබෙනු ඇත. මීට අමතරව, තවත් 380 ගුවන් යානා 36 ක් මිලදී ගැනීම සඳහා සමූහය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ගිවිසුමක් අත්සන් කරන ලදී.

    එමිරේට්ස් සහ dnata සමාගම්වල සිදුකළ සමස්ත ඵලදායීතාවය නැංවීමේ වැඩසටහන් යටතේ සමූහයට අයත් අනුබද්ධ සමාගම් 80 කට වැඩි ප‍්‍රමාණයක සේවය කළ විවිධ ජාතීන් 160 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත සමස්ත කාර්ය මණ්ඩලය මේ කාලයේදී සමූහය විසින් 2% කින් 103,363 ක් දක්වා අඩුකර තිබීම කැපී පෙනෙන කාරණාවකි.

    මෙම මූල්‍ය වර්ෂය තුළ එමිරේට්ස් සමූහය වෙත නව ගුවන් යානා 17 ක් ලැබී තිබෙන අතර මේවා A380 ගුවන් යානා 08 කින් සහ Boeing 777-300ER ගුවන් යානා 09 කින් සමන්විත වේ. මේ අතරම, සමූහයේ පරණ ගුවන් යානා 08 ක් සේවයෙන් ඉවත් කර තිබෙන අතර පසුගිය මාර්තු මාසය අවසන් වනවිට සමූහය සතුවූ ගුවන් යානා ප‍්‍රමාණය 268 කි.

    ගුවන් මගීන්ගේ ඉහළ යෑමට ප‍්‍රබලව බලපාන අභියෝගාත්මක දේශපාලන වාතාවරණය සහ දැඩි තරගකාරී ව්‍යාපාරික පරිසරයකදී සිදුකළ ගාස්තු වැඩිකිරීම හමුවේ වුවද තම ආදායම මෙම මූල්‍ය වසරේදී ඩිරාම් බිලියන 92.3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 25.2 ක්) දක්වා වර්ධනය කර ගැනීමට එමිරේට්ස් සමත්ව තිබේ. වසර ගණනාවකට පසුව පළමු වරට ගුවන් සමාගමේ ප‍්‍රධාන වෙළඳපොළවල් නියෝජනය කරන බොහෝ රටවල මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත්වීම හමුවේ මෙම මුදල් වසරේදී සමූහයට ඩිරාම් මිලියන 661 ක (ඇමරිකානු ඩොලර් මිලියන 180 ක) වාසියක් සිදුවී ඇත.

    මේ අතර, සමූහයේ සමස්ත මෙහෙයුම් වියදම 2016-17 මූල්‍ය වසරට සාපේක්ෂව 7% කින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන මූල්‍ය වසරේදී ගුවන් යානා ඉන්ධනවල සාමාන්‍ය මිල 15% කින් තියුණු ලෙස ඉහළ ගොස් තිබේ. සමූහයේ ධාරිතාවය වැඩිවීම හමුවේ ඉන්ධන වියදම 3% කින් වැඩිවෙමින් පසුගිය මූල්‍ය වසරට සාපේක්ෂව සලකා බලන වසරේදී සමූහයේ ඉන්ධන වියදම ඩිරාම් බිලියන 24.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක්) දක්වා 18% කින් කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත. සමූහයේ මෙහෙයුම් වියදමෙන් මේ වනවිට 28% ක් නියෝජනය කරන්නේ ඉන්ධන වියදම් වන අතර එය 2016-17 මූල්‍ය වසරේදී 25% ක් විය. සමූහයේ වැඩිම වියදම ලෙස මේ වනවිට තිබෙන්නේ ඉන්ධන වියදම වීම කැපී පෙනේ.

    සියළුම වෙළඳපොළවල් තුළින් එල්ලවූ තරගකාරී පීඩනය සාර්ථකව ජයග‍්‍රහණය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව තම ලාභය 124% කින් ඩිරාම් බිලියන 2.8 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 762 ක්) දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ.

    සලකා බලන මූල්‍ය වසර තුළදී එමිරේට්ස් විසින් ගුවන් මගීන් මිලියන 58.5 ක් ප‍්‍රවාහනය කර තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4% ක වර්ධනයකි.

    එමිරේට්ස් ව්‍යාපාරික කටයුතු කරන කළාප 06 මගින් ලැබූ ආදායම මෙම කාල සීමාවේදී මනා සමබරතාවයකින් තිබෙන අතර සමස්ත ආදායම සඳහා කිසිදු කළාපයක් විසින් 30% කට වැඩි ආදායමක් එකතු කර නොමැත. සලකා බලන මූල්‍ය වසරේදී වැඩිම ආදායමක් උපයා දී තිබෙන්නේ යූරෝපීය කළාපයෙන් වන අතර එය ඩිරාම් බිලියන 26.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක්) වෙමින් පසුගිය වසරට වඩා 12% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. දෙවැනියට නැගෙනහිර ආසියානු සහ  ඕස්ටේ‍්‍රලියානු කළාපය පැමිණෙමින් ඩිරාම් බිලියන 25.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක) ආදායමක් උපයා දී තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 12% ක ආදායම් වර්ධනයකි. ඇමරිකානු කළාපය තුළින් සමූහය ඩිරාම් බිලියන 13. 4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක) ආදායමක් ලබා තිබෙන්නේ 7% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. මේ අතර, ගල්ෆ් සහ මැදපෙරදිග කළාපය තුළින් සමූහය ඩිරාම් බිලියන 8.5 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක) ආදායමක් ලබා තිබෙන අතර එය 2% ක ආදායම් පහළ යාමකි. මේ අතර, අප‍්‍රිකානු කළාපය මගින් ලැබූ ආදායම 8% කින් වර්ධනය වෙමින් ඩිරාම් බිලියන 9.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක) ආදායමක් වාර්තා කර තිබෙන අතර බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කළාපයෙන් ඩිරාම් බිලියන 7.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.1 ක) ආදායමක් වාර්තා කර තිබෙන්නේ 5% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.

    එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් ගුවන් සමාගමේ සමස්ත ප‍්‍රවාහන ආදායම් වලින් 14% ක් වාර්තා කිරීමට සමත්ව ඇත.

    වේගයෙන් වෙනස් වන ගුවන් භාණ්ඩ වෙළඳපොළ තුළ එමිරේට්ස් ආධිපත්‍ය තවදුරටත් පතුරුවමින් එමිරේට්ස් කාර්ගෝ අංශය විසින් සලකා බලන මූල්‍ය වසරේදී ඩිරාම් බිලියන 12.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක) ආදායමක් වාර්තා කර තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව 17% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කර ගනිමිනි. සලකා බලන වර්ෂය තුළදී ගුවන් සමාගම විසින් ප‍්‍රවාහනය කළ භාණ්ඩ ටොන් ප‍්‍රමාණය 2% කින් සුළු වශයෙන් වර්ධනය වී ටොන්  මිලියන 2.6 ක්වී තිබේ.