එයාර් ඒසියා නිසා ‘කබාලි‘ රසිකයින් අමාරුවේ වැටෙයි

    July, 22, 2016

    ද්‍රවිඩ සිනමාලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි ‘කබාලි‘ චිත්‍රපටයේ මංගල දර්ශනය අද (22) උදෑසන ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ වෙනුවෙන් කබාලි චිත්‍රපටයේ නිල ගුවන් ගමන් සහකරු වූ එයාර් ඒසියා ගුවන් සේවය විශේෂ ගුවන් පැකේජයක් හඳුන්වා දී තිබුණි.

    මෙම පැකේජයට අනුව බැංගලෝර් සිට චෙන්නායි දක්වා කබාලි රසිකයින් 160 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද උදෑසන පැමිණි අතර මුලින් සඳහන් කළ අන්දමට චෙන්නායි හි Satyam සිනමා ශාලාවේ අද දින පළමු දර්ශන වාරය ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති බව ප්‍රකාශයට පත් කර තිබුණි. කෙසේ වෙතත් අවසානයේ දී එයාර් ඒසියා බලධාරීන් විසින් අදාළ ස්ථානය වෙනස්කර තිබෙන අතර Prasad Studio නම් රඟහලක් වෙත එම ප්‍රේක්ෂකයින් පිරිස රැගෙන ගොස් තිබේ.

    මේ අවස්ථාවේ දී ‘කබාලි‘ රසිකයින් හා එයාර් ඒසියා බලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇති වී තිබෙන අතර එහිදී බොහෝ රසිකයින් කියා ඇත්තේ Prasad Studio හි චිත්‍රපටයක් නැරඹීම, නිවසේ සිට CD භාවිත කර චිත්‍රපටයක් බලනවා වැනි අත්දැකීමක් වනු ඇති බවයි.

    කෙසේ වෙතත් Satyam සිනමා ශාලාවේ අද දහවල් 12.30 දර්ශන වාරය සඳහා මෙම රසිකයින් පිරිස යොමුකිරීමට එයාර් ඒසියා බලධාරීන් පියවර ගන්නා බව සඳහන් කර ඇතත්, අලුත්ම චිත්‍රපටයේ පළමු දිනයේ පළමු දර්ශන වාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව එයාර් ඒසියා නිසා අහිමි වූ බව රසිකයින්ගෙන් චෝදනා එල්ල වී තිබේ.

    දකුණු ඉන්දීය සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හඳුන්වන රැජිනි කාන්ත් රඟපාන නවතම චිත්‍රපටය වන ‘කබාලි‘ අද දින සිට ලොව පුරා තිරගත වීම ආරම්භ කරන ලදී. මේ නිසා අද දින දකුණු ඉන්දියවේ බොහෝ ආයතන නිල නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.

    ‘කබාලි‘ මංගල දර්ශන වාරය වෙනුවෙන් ‘Fly like a Superstar’ තේමාව යටතේ එයාර් ඒසියා ගුවන් සේවය විසින් මෙම විශේෂ පැකේජය හඳුන්වා දුන් අතර ගුවන් ගමන අතරවාරයේ දී රැජිනි කාන්ත් ගේ ප්‍රියතම ආහාරපාන පිළිගැන්වීමට ද ගුවන් සේවය කටයුතු කරන බව ප්‍රකාශයට පත් කර තිබුණි.


    එයාර් ඒසියා ඉන්දියා හි ප්‍රධාන විධායක නිලධාරී අමාර් අබ්‍රොල් විශේෂ ගුවන් යානායෙන් චෙන්නායි වෙත පැමිණි කෝපයට පත් ‘කබාලි‘ රසිකයින් සමඟ සාකච්ඡා කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.