එලායන්ස් මුල්‍ය සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළහි හරිත බැඳුම්කර නිකුත් කරයි

    March, 12, 2025

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් මුල්‍ය සමාගම (AFC), කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) හරිත බැඳුම්කර නිකුත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන සීනුව නාද කිරීමේ අවස්ථාව 2025 පෙබරවාරි 27 වන දින CSE වෙළඳ මහලේ පැවති අතර, තිරසාර මූල්‍යකරණය සහ වගකීම් සහගත ආයෝජන සඳහා සමාගම සතු කැපවීම මේ හරහා සංකේතවත් වේ.

    ලැයිස්තුගත, වර්ග කළ, ​​සහතික කළ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි වසර 3ක කාලයක් සඳහා වන, බැඳුම්කර කොටසක් රු. 100 බැඟින් යුත් මිලියන 10ක් දක්වා වන හරිත බැඳුම්කරය, 2025 පෙබරවාරි 17 වන දින විවෘත කරන ලද අතර ආරම්භක දිනයේම අධි ඉල්ලුමක් ඇතිවිය. අතිමහත් ආයෝජක ප්‍රතිචාරය මඟින් පිළිබිඹු වන්නේ තිරසාර මූල්‍ය උපකරණ කෙරෙහි ඉහළ යමින් පවතින විශ්වාසය සහ වගකිවයුතු ආයෝජන අවස්ථා සඳහා ඇති දැඩි ඉල්ලුමයි.

    ආරම්භක අවස්ථාවේ අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ෂාන් විරසේකර මහතා එලායන්ස් මුල්‍ය සමාගමේ ජයග්‍රහණයට සුබ පතමින් මෙලෙස සිය අදහස් දැක්වුවේය. “AFC දිගු කලක් තිස්සේ මූල්‍ය අංශයේ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමෙහිලා පෙරමුණ ගෙන ඇත. නීති රීති අනුගමනය කිරීමෙන් ඔබ්බට ගොස් ‘ජනතාව, ලෝකය සහ ලාභය’ යන දර්ශනය කෙරෙහි දැඩි කැපවීමක් පෙන්නුම් කරයි.”

    “ගෝලීය තිරසාර ආයෝජන ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වීමත් සමඟ, ශ්‍රී ලංකාවට විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍රවල එවැනි අරමුදල් ආකර්ෂණය කර ගැනීමට අතිමහත් හැකියාවක් පවතී. එලායන්ස් මුල්‍ය සමාගමේ එම පුරෝගාමී පියවර ආදර්ශයට ගනිමින් මෙම වර්ධනය වන අංශයට ක්‍රියාකාරීව දායක වන ලෙස මම අනෙකුත් මූල්‍ය ආයතන දිරිමත් කරමින් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.” යනුවෙන් ද ඔහු පැවසුවේය.

    මීළඟට, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය අංශ විශේෂඥ උරේෂා වල්පිටගම මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය. “ශ්‍රී ලංකාවේ පැහැදිලි හා සමාජීය වශයෙන් තිරසාර ප්‍රාග්ධන වෙළඳපොළ මූල්‍යකරණ පද්ධතියක් සංවර්ධනය කිරීමට සහාය වීම ගැන අපි ආඩම්බර වෙමු. හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේදය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා, අපගේ කාර්යයේ තිරසාරභාවය සහතික කරන හරිත බැඳුම්කර නිකුත් කිරීම් සඳහා ඉහළ යන උනන්දුව සහ ගම්‍යතාව අපි අත් විදින්නෙමු. මෙම වැදගත් ගමනේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ CSE සමඟ හවුල් වීමට අපි සතුටු වෙමු”

    මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අවධාරණය කරමින් එලායන්ස් මුල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා මෙලෙස පැවසුවේය."තිරසාර මූල්‍යකරණය තුළින් ලෝකය වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීම සහ අප සේවය කරන ප්‍රජාවන් සඳහා කල් පවතින වටිනාකමක් නිර්මාණය කිරීම යන අපගේ සමාගමේ අරමුණ සැබවින්ම ප්‍රකට කරන AFC පවුලේ සේවකයින් 1,850 දෙනාට මෙම ජයග්‍රහණය පුද කිරීමට ලැබීම මහත් ආඩම්බරයට හා කෘතඥතාවයට හේතු වේ. අපගේ ගමන ආරම්භ වූයේ ජනතා කේන්ද්‍රීය ආචාර ධර්ම පද්ධතියක් සහ අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන්ට සේවය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වන අතර අද වන විට අපි තිරසාර වෙනසක් ඇති කිරීම සඳහා අනුකූලතාවයෙන් ඔබ්බට ගොස් එම වටිනාකම් ආරක්ෂා කරමින් සිටිමු."

    1956 වර්ෂයේදී ආරම්භ කළ එලායන්ස් මුල්‍ය සමාගම එතැන් පටන් තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරයි. මූල්‍ය අන්තර්වේශනය සහ වගකිවයුතු ලෙස ණය ලබාදීම සඳහා වන දැඩි කැපවීමක් ඇතිව, සමාගම රටේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) දහස් ගණනක් සවිබල ගන්වා ඇත. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ හරිත සහ සමාජ බැඳුම්කර මූලධර්ම ඇතුළු ගෝලීය යහ භාවිතයන් සමඟ සමාගමේ උපාය මාර්ග පෙළගස්වමින්, AFC, සදාචාරාත්මක සහ බලපෑම් මත පදනම් වූ මූල්‍ය විසඳුම්වල නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. අද දින කොළඹ කොටස් හුවමාරුවේ හරිත බැඳුම්කර සාර්ථකව නිකුත් කිරීම හරහා, තිරසාර සංවර්ධනය ඇති කිරීම සහ ආයෝජකයින්ට සහ ප්‍රජාවන්ට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා සමාගම සතු කැපවීම තව තවත් ශක්තිමත් වනු ඇත.