එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, SLIM Brand Excellence Awards 2025 හිදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ බවට පත් වේ

    November, 27, 2025

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් සන්නාමයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී පිදෙන ඉහළම ගෞරව සන්නාමය වන ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ (Brand of the Year) සම්මානය දිනා ගැනීමට සමත් විය. පසුගිය දා පැවති මෙම සම්මාන උළෙල, වෙළෙඳපොළ තුළ එලිෆන්ට් හවුස් සතු පාරිභෝගික විශ්වාසය සහ ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ඊට හිමි අභිමානවත් උරුමය යළිත් වරක් තහවුරු කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

    වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට අමතරව, තවත් ප්‍රධාන සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරමින් සිය විශිෂ්ටත්වය විදහා දැක්වීමට එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමත් විය. එහිදී ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය’ (Product Brand of the Year) සඳහා රන් සම්මානය සහ ‘වසරේ විශිෂ්ටතම දේශීය සන්නාමය’ (Local Brand of the Year) සඳහා රිදී සම්මානය දිනා ගැනීම කැපී පෙනුණි. මෙම ජයග්‍රහණය ත්‍රිත්වය මගින් නිෂ්පාදන නවෝත්පාදනය සහ උපායමාර්ගික අලෙවිකරණයේ සිට පාරිභෝගික බැඳීම සහ දීර්ඝකාලීන සන්නාම වටිනාකම (Brand Equity) දක්වා එලිෆන්ට් හවුස් සන්නාමය සතු පරිපූර්ණ හැකියාව මැනවින් විදහා දක්වයි. එසේම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන් සමඟ පවතින බැඳීම ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකළ විධිමත් ආයෝජනවල සාර්ථකත්වය ද මෙමගින් පිළිබිඹු කෙරේ.

    සියවසකට අධික උරුමයක් ඇති එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, පවුලේ විශ්වාසනීය රසවින්දනය, ඉහළ ගුණාත්මකභාවය සහ නව්‍යකරණය සමඟ බැඳී පවතී. වසර ගණනාවක් පුරා, මෙම සන්නාමය ශ්‍රී ලංකාවේ අයිස්ක්‍රීම් ක්ෂේත්‍රය හැඩගැස්වීමේ සහ එහි ඇති පුරෝගාමී කාර්යභාරය, අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ ආකර්ෂණයට සාක්ෂි දරන සම්මාන රැසක් දිනා ඇත. මෙවර SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලැබූ මෙම ජයග්‍රහණය, රටේ වඩාත්ම ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ පාරිභෝගික සන්නාමයක් ලෙස  එලිෆන්ට් හවුස් හි කීර්තිනාමය තවදුරටත් ඉහළ නංවයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ පැවසීය. "මෙම ජයග්‍රහණය, වසර පුරා අප විසින් එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් වෙනුවෙන් දියත් කළ ස්ථාවර සහ පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් වැඩසටහන්වල සාර්ථකත්වය මැනවින් තහවුරු කරන්නක් වන අතර නිරන්තර වැඩිදියුණු කිරීම්, නවෝත්පාදනයන් හි සෑම අදියරකදීම සන්නාමය ශක්තිමත් කිරීම සඳහා අපගේ කැපවීම මෙමගින් පිළිබිඹු වෙනවා. අපගේ කාර්ය මණ්ඩලය සන්නාමයේ කාර්ය සාධනය ඉහළ නැංවීම වෙනුවෙන් දැක්වූ ක්‍රමානුකූල සහ කැපවූ දායකත්වය මෙම සම්මානය හරහා ඇගයීමට ලක්වෙනවා."

    එමෙන්ම අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධානී සතිෂ් රත්නායක මහතා සිය අදහස් දක්වමින් මේ පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේ ය. "මෙම ජයග්‍රහණය හරහා නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි අප දක්වන දැඩි අවධානය පිළිබිඹු වෙනවා. සෑම නවෝත්පාදනයක්ම පාදක වී ඇත්තේ අපගේ පාරිභෝගිකයන්ට හොඳම නිෂ්පාදන ලබා දීම මතයි. විශිෂ්ටත්වය සඳහා අපගේ ඇති කැපවීම නිවැරදි ලෙස ඇගයීමට ලක්වීම අපට විශාල සතුටක්."

    මේ පිළිබඳව අදහස් දැක්වූ අයිස්ක්‍රීම් අංශයේ අලෙවි ප්‍රධානී චතුරිකා ෆොන්සේකා මහත්මිය මෙසේ සඳහන් කළාය: "එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සන්නාමයේ සැබෑ ශක්තිය රඳා පවතින්නේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇති ගැඹුරු බැඳීම මතයි. පසුගිය වසරේ අපගේ ප්‍රධාන අරමුණ වූයේ පාරිභෝගික ආකර්ෂණය ගොඩනැගීමත්, දත්ත සහ තොරතුරු මත පදනම් වූ ආයතනික ක්‍රියාකාරකම් දියත් කිරීමත්ය. මෙම ජයග්‍රහණ මගින් අපගේ එම උපායමාර්ගවල සාර්ථකත්වය තහවුරු කෙරෙන අතර, සන්නාමය නව මානයන් කරා ගෙන යාමට එය අපට මහත් රුකුලක්."

    අනාගත අපේක්ෂාවන් සහිතව එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සිය වෙළෙඳපොළ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර පාරිභෝගික බැඳීම ශක්තිමත් කිරීම, නවෝත්පාදන ක්‍රියාවලිය පුළුල් කිරීම සහ වෙනස්වන පාරිභෝගික ජීවන රටාවන්ට ගැලපෙන පරිදි සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම ඊට ඇතුළත් වේ. පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් සිදුකරන නිෂ්පාදන සංවර්ධනය සහ නිර්මාණාශීලී සන්නාම ක්‍රියාකාරකම් පෙරටු කර ගනිමින්, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇති කිරීමටත්, ශ්‍රී ලාංකික පවුල්වල එදිනෙදා ජීවිතයට වෙනසක් එක් කිරීමටත් එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නිරන්තරයෙන් කැපවී සිටී.