ඒෂියන් පේන්ට්ස් සහ කුමාර් සංගක්කාර අත්වැල් බැඳගනී

    August, 14, 2014

    තීන්ත නිෂ්පාදනයේ ලොව ප‍්‍රමුඛතම සමාගම් අතරින් එකක් වන ඒෂියන් පේන්ට්ස් සමාගම වත්මන් ලෝක ක‍්‍රිකට් කරළියේ අද්විතීය ක‍්‍රීඩකයෙකු ලෙසින් වැජඹෙන කුමාර් සංගක්කාර සමග ශ්‍රී ලංකාව සඳහා සන්නාම සම්බන්ධතාවයකට එළඹුණු බව නිවේදනය කර ඇත.

    මෙම සම්බන්ධතාවයට අනුව කුමාර් සංගක්කාර ඒෂියන් පේන්ට්ස් සන්නාම තානාපතිවරයා වන අතර සමාගමේ ප‍්‍රචලිත සන්නාම මාලාවේ විශ්වසනීයත්වය පිළිබඳ ඔහු විසින් සහතික කිරීමක් කරනු ඇත.

    ඒෂියන් පේන්ට්ස් සහ කුමාර් සංගක්කාර අතර ඇති කරගත් තුන් අවුරුදු සන්නාම සම්බන්ධතාවය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් සමාගමේ අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී ජේකබ් කුරුවිල මහතා පැවසුවේ සමාගමේ ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සන්නාම තානාපතිවරයා ලෙස සංගක්කාර මහතා එක්කර ගැනීමට ලැබීම පිළිබඳව ප‍්‍රමෝදයට පත්වන බවයි.

    ඒෂියන් පේන්ට්ස් සන්නාම තානාපතිවරයා ලෙස තමන්ගේ අළුත්ම කාර්ය භාරය පිළිබඳව සංගක්කාර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘අවුරුදු 15 ක කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් මෙරට වෙළෙඳපොළේ තිබෙන අතර පාරිභෝගිකයින් සමග දැඩි සම්බන්ධතාවයක් සහිත සමාගමේ ‘කලර් වර්ල්ඞ්’ වැඩසටහන තුළින් තීන්ත අලෙවියේ විප්ලවීය වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. සමාගමක් විසින් දේශීය තීන්ත වෙළෙඳපොළට මුලින්ම හඳුන්වාදුන් නිෂ්පාදන මාලාවක් සඳහා ඒෂියන් පේන්ට්ස් දායකවී ඇතැයි මා හොඳින්ම දන්නා කාරණයක්. මේ නිසා, සන්නාම තානාපතිවරයා ලෙසින් සමාගමේ නිෂ්පාදන සහතික කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වනවා.’’

    ඒෂියන් පේන්ට්ස් සමූහය සතුව ලොව වටා නිෂ්පාදන කර්මාන්තශාලා 25 ක් තිබෙන අතර ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව, මැදපෙරදිග, දකුණු ශාන්තිකර, කැරිබියානු සහ අප‍්‍රිකානු කළාපවල සමාගම ශක්තිමත්ව ව්‍යාප්තව තිබේ.